මහාචාර්ය ඇම්. එච්. ගුණතිලකයන්ගේ වියෝවෙන් අතරමං වූ සාම්ප්රදායික දේශීය කලාව

ශතවර්ෂ ගණනකටත් එහා සාඩම්බර අතීතයකට උරුමකම් කියන මෙරට සාම්ප්‍රදායික කෝලම්  කලාව වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටු කළ, විශිෂ්ඨ ගණයේ විද්වතෙකු, කලාකරුවකු, පර්යේෂකයකු මෙන්ම විචාරකයකු ද වූ මහාචාර්ය ඇම්. එච්. ගුණතිලකයන් දිවිසැරියෙන් නික්ම ගොස් අදට(ජුලි 29) හරියටම වසර 9ක් නික්ම ගොසිනි. 81 වසරක කාලය පුරා සිය දිවි ගමනේ දී ඔහු මෙරට සාහිත්‍යය, කලාව, අධ්‍යාපනය වෙනුවෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද කරන ලද මහඟු කර්තව්‍යය මෙතෙකැයි කිව නොහැකි තරම් ය. අදට යෙදෙන මහාචාර්ය ඇම්. එච්. ගුණතිලකයන් අනුස්මරණය වෙනුවෙන් තබන මේ සටහන ඔහුට පිදෙන ගෞරව උපහාරයකි.

1931 ඔක්තෝම්බර් 25 වන දින වාද්දුවේ පොතුපිටියේ දී උපන් ඇම්. එච්. ගුණතිලකයන් එවකට නක්ෂත්‍රයෙහි නිපුණයෙකු වූ ජෙම්ස් ගුණතිලක මහතාගේ පුත්‍රයායි. ගුණතිලකයන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ වාද්දුව කණිෂ්ඨ විද්‍යාලයෙනි.  එම වකවානුව තුළ වාද්දුව පිරිවෙණෙහි දහම් පාසලේ ද දහම් අධ්‍යාපනය ලැබූ ඔහු ද්විතීයක අධ්‍යාපනය ලැබුවේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙනි. ගුණතිලකයන් උසස් අධ්‍යාපනය පිණිස කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් විය. එහිදී විශ්ව විද්‍යාල වරම් ලැබූ ඔහු 1951 දී ලංකා විශ්ව විද්‍යාලයේ කලා පිඨයට ඇතුළත් විය. පේරාදෙනියට ලංකා විශ්ව විද්‍යාලය ගෙන යන විට ගුණතිලකයන් ද එහි ප්‍රථම කණ්ඩායමේ සාමාජිකයකු විය. ඇම්. එච්. ගුණතිලකයන් 1957 දී ලංකා විශ්ව විද්‍යාලයෙන් සිංහල (ගෞරව) උපාධිය ද, ඉන් පසු එම විශ්ව විද්‍යාලයෙන් ම පශ්චාත් උපාධිය ද ලබා,ගත්තේ ය.

ඉන් අනතුරුව 1957 ”දිනමිණ” පුවත්පතෙහි වාර්තාකරුවෙකු ලෙසට ද එම වසරේදීම උප කර්තෘවරයෙකු ලෙසට ද පත්විය. 1958 දී මුදල් අමාත්‍යංශයේ භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කළ ඔහු එම කාලයෙහි විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙහි බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසට ද සිය දායකත්වය ලබාදුන්නේය.1958 දී ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වූ චාලට් ප්‍රේම ගුණතිලක සමග යුග දිවියට එළඹුණි. ගුණතිලක මහතා නන්දිනා ශිරෝමාලා නම් දියණියගේ ද දුශ්‍යන්ත සංජය නම් පුත්‍රයාගේ ද ආදරණීය පියාණන් ය. ගුණතිලකයන්ට දේශීය විශ්ව විද්‍යාලවලින් ලබාගන්නා අධ්‍යාපනයෙන් දැනුම පිපාසය සංසිඳුවා ගැනීමෙන් නැවතී සිටිය නොහැකි විය. පෘතුගාලයට ගිය ඔහු කුසීම්බු හා ලිස්බෝව යන විශ්වවිද්‍යාලවල දී  පෘතුගීසි භාෂාව හා සාහිත්‍යය පිළිබඳව හැදැරී ය. මේ වකවානුව තුළ ගුණතිලකයන් විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙහි සිංහල දෙපාර්තමේන්තුවේ ස්ථිර කථිකාචාර්යවරයෙකු ලෙස වැඩ භාරගත්තේය. ඔහු “Masks and Masks System of Sri Lanka” මැයෙන් සිය නිබන්ධනය ඉදිරිපත් කොට ආචාර්ය උපාධිය හිමිකර ගත්තේය. විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සිංහලාංශයේ ආචාර්යවරයකුව 1974 වන තුරු එහි සේවය කළේය.

පසුව ඔහු කැළණිය විශ්ව විද්‍යාලයට මාරුවීමක් ලැබීය. පෘතුගාලයේ, උසස් අධ්‍යාපන අමාත්‍යාංගයේ ද අනුමැතිය ඇතිව, විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය යටතේ පෘතුගීසි අධ්‍යයන සහතික පත්‍ර පාඨමාලාවක් ප්‍රථම වරට අරඹන ලද්දේ  ආචාර්ය ගුණතිලකයන් විසිනි.  එපමණකින් නොනැවතී දමිල සිසුන්ට සිංහල ඉගැන්වීමේ සහතික පත්‍ර පාඨමාලාවක් ද ඔහු විසින් මෙහෙයවන ලදි. 1974 දී කැළණිය විශ්ව විද්‍යාලයේ නූතන භාෂා සහ සිංහල යන අධ්‍යයනාංශවල සේවය කරමින් සිටිය දී එවකට ඉංග්‍රීසි අධ්‍යයනාංශය යටතේ තිබූ ලලිත කලා උප අධ්‍යයනාංශයට බැඳුණු ආචාර්ය ගුණතිලකයන් වසර 20කටත් වඩා එහි සේවය කළේ එම උපඅංශය පූර්ණ අධ්‍යයනාංශයක් බවට පත් කරගැනීමට ද සමත් වෙමිනි. එහි අංශාධිපති තනතුරට පත් වූ හෙතෙම, කලක්, කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය ආයතනයේ වැඩබලන අධ්‍යක්‍ෂවරයා ලෙස ද කටයුතු කෙළේ ය. සිංහල, ඉංග්‍රීසි, පෘතුගීසි, පාලි හා සංස්කෘත යන භාෂා පිළිබඳ ප්‍රවීනත්වයක් ඇති ඔහු විදේශීය රථවලින් අධිශිෂ්‍යත්ව හා ශිෂ්‍යත්ව ගණනාවක් දිනාගත්තෙකි. ඇමරිකාවෙන් ෆුල්බ්‍රයිට් ක්ෂේත්‍ර පර්යේෂණ අධිශිෂ්‍යත්වයක් ද, ජපානයේ ජපන් පදනමින් තවත් අධි ශිෂ්‍යත්වයක් ද පෘතුගාලයේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහ ගුබෙංකියන් ආයතනයෙන් කෙටිකාලීන ශිෂ්‍යත්වයක් ද ඔහු හිමිකරගත්තේ දැනුම උකහා ගැනීමෛ් නොතිත් ආශාවකින් මෙන්ම නැණ නුවණෙහි ඉහළ සමත්කම් විදහා පාමිනි. ආචාර්ය ගුණතිලකයන් ලංකාවේ ජනවේද අධ්‍යයන කටයුතුවල ගැඹුරින් නියැලී සිටි අයෙකි. එම පර්යේෂණ අධ්‍යයනවල ප්‍රතිඵල ඇතුළත් පර්යේෂණ ලිපි, ඉන්දියාවේ නවදිල්ලි නුවර ජවහර්ලාල් නේරු අධ්‍යයන මධ්‍යස්ථානය, ජපානයේ, කියෝතෝ නුවර ජනවේද අධ්‍යයන කවය, ද ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැති ඉන්දියානු සාගර කලාපීය අධ්‍යයන සම්මන්ත්‍රණය, වැනි විද්වත් සම්මේලනවලදී ද ඉදිරිපත් වී ඇත්තේ ජාත්‍යන්තරයේද අවධානය දිනාගනිමිනි. තිස් පස් වසරක සේවයෙන් පසු මහාචාර්ය ගුණතිලකයන් විශ්ව විද්‍යාලයෙන් විශ්‍රාම ගියේය.

මහාචාර්ය ඇම්. එච්. ගුණතිලකයන් භාෂා කිහිපයක් ප්‍රවීණයෙකි. සිංහල, ඉංග්‍රීසි මෙන්ම පෘතුගීසී භාෂාව ද හැසිරවීමේ මනා හැකියාවක් ඔහු සතු ය. එපමණික් නොනැවතී පාලි හා සංස්කෘත භාෂා පරිහරණය කිරීමේ හැකියාව ද ඔහු සතු විය. තරමක් දුර ජපන් හා දෙමළ භාෂාවන් ද දැන සිටියේය. ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ජාත්‍යන්තර බෙරවාදක සැණකෙළියක් (Drum Festival) සඳහා මෙරට කණ්ඩායමක් රැගෙන යාමට ඔහු කටයුතු කළේය. එමෙන්ම පුත්තලමේ කාපිරි පෙළැන්තියක් ලවා කපිරිඤ්ඤා ගායනයක් කළඑළි දැක්වීමට ද ඔහු කටයුතු කළේය. එමෙන්ම දුව පාස්කු නාට්‍ය යළි කරළියට ගෙන ඒමද සිදුවූයේ මහාචාර්ය ගුණතිලකයන්ගේ නොමඳ සහයෙනි.  ඔහු විසින් රූපවාහිනියට සපයන ලද Torch and The Mask නම් පිටපතට ඇග්‍රිනෝ උළලේදී ජාත්‍යන්තර ලෝකඩ සම්මානයක් හිමි විය. ඇම්. එච්. ගුණතිලකයන් විසින් පළකරන ලද ශාස්ත්‍රීය කෘති බොහෝය. ඒවා අතර Nadagam – The Fist Sri Lanka Theatre, Sokari of Sri Lanka, Wessagiri Pavarulipiya, Masks and Mask System of Sri Lanka, ටිබෙට් රටේ සත් වසක් (පරිවර්තන) නාට්‍ය දෘෂ්ටි හා රත්නාවලී, සිංහල නාඩගම් කලාව හා දම්ල කුත්තු හා තවත් බොහෝ කෘතීන් ඒ අතර වේ.

 පේරාදෙණියෙහි විශ්ව විද්‍යාල පරිසරය තුළදී ගුණතිලකයන්ට කලා ක්‍ෂේත්‍ර ගැන විශේෂ ඇල්මක් ඇතිවූයේ එදිරිවීර සරච්චන්ද්‍ර ඇඳුරුතුමන් සෙවනෙහි  මෙරට ජන කලා පිළිබඳව කරන ලෙද පර්යේෂණ කරද්දී ය. ඔහු විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙහි කථිකාචාර්යවරයෙකු ලෙසට පත්ව ආ පසුව මෙම ඇල්ම තවදුරටත් ප්‍රබල වූයේ ය.  ඒ බව පළමුව ප්‍රකට වන සාක්ෂිය වන්නේ සංස්කෘත නාට්‍ය ශෛලිය පිළිබඳව 1960 දී  පළකරන ලද ‘නාට්‍ය දුෂ්ටී හා රත්නාවලී’  යන ග්‍රන්ථයෙනි. සංස්කෘත නාට්‍ය ශෛලිය පිළිබඳව ප්‍රථම වරට සිංහලයෙන් විවරණයක යෙදුණු ගොනු ව මෙය යැයි කිව හැකි ය.  එවකට කෝලම් නැටුම් සක්‍රියව පැවති පෙදෙස්වල ඔහු විශ්ව විද්‍යාල සිසුන් සමඟ පර්යේෂණවල නියැලීමේ ප්‍රතිඵලයක් ලෙස කෝලම් නාට්‍ය පිළිබඳ ඉතා ගැඹුරින් විග්‍රහ කෙරෙන ‘කෝලම් නාට්‍ය සාහිත්‍යය’ ග්‍රන්ථය බිහිවිය. කෝලම් නැටුම් අරඹයා මේ තරම් සවිස්තර ග්‍රන්ථයක් මෙතෙක් පළවී නැති බවත් මෙම කලා ක්‍ෂේත්‍ර පිළිබඳව ඔහු කොතෙක් වෙහෙසකර අන්දමින් පර්යේෂණවල යෙදී ඇත්දැයි මෙම ග්‍රන්ථය පරිශීලනය කරන්නෙකුට මැනවින් වැටහේ. දේශීය කලාකරුවන් විසින් පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කොට ගෙන ආ පුස්කොළ පොත් හා අනිකුත් පිටපත් ද මහාචාර්වරයා සිය ග්‍රන්ථ සම්පාදනයේ දී යොදාගෙන තිබුණේ මෙරට කෝලම් නාට්‍ය සම්ප්‍රදායයේ සැබෑ ම අක්මුල් සියල්ලම පිළිබඳ පරතෙරටම අධ්‍යනය කරමිනි.

 මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් වරෙක මහාචාර්ය ගුණතිලකයන්ගේ ‘කෝලම් නාටක සහ ලංකාවේ වෙස්මුහුණු’ ග්‍රන්ථය පිළිබඳ මෙලෙස සටහන් කර තිබුණි. “ඇම්. එච්. ගුණතිලක මහතා විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකි. ඔහු බොහෝ කාලයක් මුළුල්ලේ නාට්‍ය කලාව පිළිබඳ ව පර්යෙෂණ පැවැත් වූ කෙනෙකු බව මම දනිමි. විද්‍යාදය විශ්වවිද්‍යාලයෙහි විද්‍යාර්ථීන් අතර පොදුවේ නාට්‍ය කලාව පිළිබඳවත් විශේෂයෙන් සිංහල ගැමි නාට්‍ය පිළිබඳවත් උද්‍යොගයක් ඇති කිරීමේ මුල් පියවර තබන ලද්දේ ඔහු විසිනි..”. “..මේ පොතෙහි අන්තර්ගත ව ඇත්තේ ගුණතිලක මහතා විසින් ගැමි නාට්‍ය කලා ක්ෂෙත්‍රයෙහි කරන ලද පර්යෙෂණවල ප්‍රතිඵලය. මෙහි විශේෂයෙන් ඔහුගේ සැලකිල්ලට භාජන වී ඇත්තේ කෝලම් නමැති ගැමි නාටක වර්ගයයි. කෝලම් වූ කලි ලාංකික ගැමි නාට්‍ය වර්ග අතර කලාත්මක අංශයෙන් ඉතා ආඪ්‍ය වූ නාට්‍ය විශේෂයක් යයි හඟිමි. මේ පොත, ඒ විෂයෙහි කරන ලද ප්‍රථම විධිවත් පර්යෙෂණය බව කියනු කැමැත්තෙමි…”

මහාචාර්ය ඇම්. එච්. ගුණතිලකයන්  සිය කලා හැකියාවන්ගෙන් මනස් සනහාලූ අපූර්වතම නිර්මාණ ශිල්පියෙකි. මෙරට සැඟවී තිබූ දේ්‍ශීය කලා වටිනාකම් අභාවයට යා නොදී ජාත්‍යන්තරයට පවා ගෙන ගිය විශිෂ්ට කලාකරුවෙකි. ඔහු එවැනි අවස්ථාවලදී ඒ ඒ සම්ප්‍රදායන් මහත් පරිශ්‍රමයකින් රැකගෙන ආ මුල් සාම්ප්‍රදායික කලාකරුවන් ජාත්‍යන්තර මට්ටමේදී සහභාගි කරගත්තේ අපමණ අභියෝගවලට මුහුණදෙමිනි. කිසිදිනෙක ඔහු තමන්ගේම කණ්ඩායම් හදාගනිමින් ඒවා ඉදිරිපත් කරන්නට ගියේ නැත. ඔහු කවදත් මනුෂ්‍යත්වය පෙරටුකර ගනිමින් නිවැරදි දේට පමණක්ම ඉඩදීමට කටයුතු කළ අයෙකි. කිසි විටෙක තනතුරු හඹා නොගිය ඔහු, දේශපාලනය කර පින්නා නොගත් මුදල් පසෙකලා කටයුතු කළ මිනිසෙකි. දරුවන් උගතුන් කළ ඔහුගේ වත්කම එපමණකි. මෙවන් උදාර ගති පැවතුම්වලින් හෙබි ඔහු කිසිවිටෙක සම්ප්‍රදාය විකෘති කිරීමට හෝ විනාශ කිරීමට හෝ වෙනස් කිරීම් ඉවසූවෙක් නම් නොවේ. ඔහු දැඩි විචාරකයෙකි. ඔහුගේ විචාර කෙතරම් ප්‍රබල වී ද යත් වරෙක, ජාතික රූපවාහිනීයේ විකාශය වූ ‘සාම්ප්‍රදායික කෝලම් කලාකරුවන්’ යැයි කියාගන්නා එක්තරා කණ්ඩායමක් විසින් කරන ලද ඉදිරිපත් කිරීමකදී කෝලම් නැටුම් සඳහා කාන්තාවන් යොදාගැනීම පිළිබඳ මහාචාර්ය ගුණතිලකයන් දැඩිව විවේචනය කළේය. ප්‍රතිඵලය වූයේ එම නාළිකාවේ එවකට ප්‍රධානියා විසින් එම වැඩසටහනේ ඉදිරි විකාශයන් අත්හිටුවීමයි. කෝලම් නාට්‍ය සම්ප්‍රදාය තුළ කාන්තාවන් රඟනොදැක්වීම ගැන ඔවුන් දැන නොසිටින්නට ඇත. එහෙත් සම්ප්‍රදාය යැයි ලේබල් අලවා ගනිමින් කරන ලද විකෘතියකට ගුණතිලකයන්ගෙන් සමාවක් ලැබුණේ ම නැත. එය එවැනි අනේක විධ සිදුවීම් ගණනාවකින් එකක් පමණි. ඇතැම් අවස්ථාවලදී සම්ප්‍රදායික කලාකරුවන් යැයි කියාගන්නා ඇතැම් පිරිස් පවා, සිංහල, ඉංග්‍රීසි, කුමන මාධ්‍යයක් හෝ වේ්වා, යම් පළකිරීමක් හෝ ඉදිරිපත් කිරීිමක් කළ විට එහි  දේශීය සම්ප්‍රදායික කලාව සුළුවෙන් හෝ විකෘති කර තිබුණොත් ගුණතිලක විචාරකයාගේ විවේචනය බරපතළ ය.

මහාචාර්ය ගුණතිලකයන්ගේ වියෝවෙන් පසු සාම්ප්‍රදායික කලාකරුවන් සහ සාම්ප්‍රදායික කලාවන් ඉතා අනාරක්ෂිත තත්ත්වයකට පත්වී ඇති බව පැහැදිලි ය. ‘ලුලා නැති වලට කනයා පණ්ඩිතය’ යන කියමන සනාථ කරමින් අද සමහර ජේෂ්ඨ මහාචාර්යවරු සාම්ප්‍රදායික කලාවන්, විශේෂයෙන් කෝලම් නර්තන සම්ප්‍රදායන් ඔවුන්ට අවශ්‍ය පරිදි වෙනස් කරමින් ඔවුන්ගේම කණ්ඩායම් සාදාගනිමින් සැබෑ කලාකරුවන්ට වන අවස්ථාවන් පැහැර ගනිමින් සිටිනවා පමණක් නොව, මෙම කලාව විකෘති කොට ඔවුන්ගේ වාණිජමය අවස්ථා සඳහා යොදා ගැනීම පිළිකුල් සහගතය. සාම්ප්‍රදාය පිළිබඳ තැකීමක් නොකරමින් කටයුතු කරන කලාවට සම්බන්ධ ඇතැම් මහාචාර්යවරු ඉදිරිපත් කරන මෙවැනි නිර්මාණ නිසා වත්මන් පරපුරත්, ලෝකයත් මෙම දේශීය නිර්මාණ යැයි කියා දකින්නේ විකෘතීන් ය. නමුත් මහාචාර්ය ගුණතිලකයන් ‍සාම්ප්‍රදායික මුල් කලාකරුවන් ආරක්ෂා කරගැනීමට දිවිහිමියෙන් කැපවූයේ කලාවට ඇති දැඩි ඇල්ම නිසාත්, අනාගතයට එය සුරක්ෂිතව ගෙනයාමට මංපෑදීම වෙනුවෙන්ම පමණකි.

සදහටම වැළලෙන්නට යා නොදී, දේශීය කලාවන් අනාගතයට සුරක්ෂිත කරගැනීම උදෙසා සැබෑ සාම්ප්‍රදායික කලාකරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කැපවූ මහාචාර්ය ගුණතිලකයන්ගේ වියෝවෙන් හටගත් විශාල අඩුව පිරවීමට අද ඒ මඟ යන්නේ මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා ය. සාම්ප්‍රදායික කලාකරුවන්ට අද එකම ශක්තිය වී ඇති ඔහු ද මහාචාර්ය ගුණතිලකයන්ගේ දයාබර ශිෂ්‍යයකු වූයේ ආශිර්වාදයකට මෙනි. සාම්ප්‍රදායික දේශීය කලාවේ චිරස්ථිතිය වෙනුවෙන් ඔහුට ද මහාචාර්ය ගුණතිලකයන් මෙන්ම මහඟු මෙහෙවරකට උර තබන්නට හැකිවේවායි සාම්ප්‍රදායික කලාකරුවන්ගේ අපේක්ෂාවයි. 

කෝලම් නාට්‍ය කලාවටත්, දේශීය කලා සම්ප්‍රදායන්ටත් මෙලෙසින් මහඟු මෙහෙවරක් ඉටු කළ මහාචාර්ය ඇම්. එච්. ගුණතිලකයන්, අදට යෙදෙන අනුස්මරණ දිනයේදී ගෞරවනීයව සිහිපත් කර සිටිමු.

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.