අහස තාම රතු පාටයි…සේන් නදිය කොළ පාටයි..

ලෝක ඉතිහාසයම පුරාවෘත්තයක්. ඒ පුරාවෘත්තය සොල්දාදුවන්ගේ ලේ මතින්, අශ්වයන්ගෙ කුර හඬින්, වැස්සට පස්සෙ පොළොවෙන් එන නැවුම් සුවඳින්, පෙම්වතුන්ගේ සුසුම් වලින් විකසිත වෙලා තියෙන්නෙ..

ඒ පුරාවෘත්තය ඇතුළෙ ඔයයි මමයි දෙන්නම ඉන්නෙ එකම කැටගරියෙ. මනුස්සයෙක් මැරෙනවා කියන්නෙ ඇඟ සීතල වෙලා හුස්ම නැවතෙන එකටම නෙමෙයි. කෙනෙක්ගේ මතකය අනිත් මිනිස්සුන්ගෙ ඔළුවෙන් අයින් වෙන දාට තමයි කෙනෙක් මැරෙනවා කියන්න පුළුවන්. අපි හැමෝම ඉමක් කොණක් නැති ඉතිහාසෙක පුරාවෘත්ත.

මගෙ ඇස් ඉස්සරහ තියෙන්නෙ එහෙව් ඉතිහාසයක් . ශත වර්ෂ ගාණක් තිස්සෙ කවියන්ගෙ, චිත්‍ර ශිල්පීන්ගේ, ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ, පෙම්වතුන්ගේ රාජධානියක්.
අත පය දිග ඇරන් විලෝ ගහක හෙවණැල්ල යට ඉන්න එක කියන්න බැරි තරමේ ආස්වාදයක්. හැබැයි මම අද අත පය දිග ඇරන් ඉන්නෙ මේ වෙලාවෙ බංකුවෙ එහා පැත්තෙ කවුරුත් නැති නිසා.

ප්‍රංශ ජාතිකයො හැම වෙලාවෙම ශිෂ්නයක් වගේ උඩට ඉස්සිච්ච අයිෆල් කුළුණ කොච්චර උඩ දාලා පෙන්නුවත් මට නම් ප්‍රංශයේ සංකේතය කියලා හිතෙන්නෙම සේන් නදිය. ඒක තනුව හැංගිච්ච සිංදුවක්, භාවනාවක්.

මෙහෙ පාලම් තිස් දෙකක් තියෙනවා . ඔව් තිස් දෙකක්. ඒ තිස් දෙකෙන් අපූරුයි කියලා කියන්න පුළුවන් පාලමකින් එගොඩ වෙලා දැන් ඉන්නෙ. පොන්ට් නියුෆ් (Pont Neuf) කියන්නෙ පරණම පාලම. එගොඩ වුණාම තියෙන්නෙ පුංචි දූපතක්. එතෙන්ට ගිහින් රෙඩ් වයින් උගුරක් බීලා චීස් එක්ක පාන් කෑල්ලක් කාලා බංකුවක් උඩට වෙලා ඉර බහින හැටි බලන් ඉන්නවා කියන්නෙම වෙනම විනෝදයක්. මට ප්‍රංශය කියන්නෙ කික් එකක්. ඒ කික් එක එන්නෙ මෙතෙන්ට එන ප්‍රංශෙ මිනිස්සුන්ගෙ රටාවත් එක්ක. තඹ පාට, දුඹුරු පාට කැරළි ගැහුණු කොණ්ඩ, කඩා හැළෙන කොණ්ඩ එක්ක සරාගී ඇස් කරකවන ගමන් කියව කියව යන ගෑණුන්ගේ මිනිස්සුන්ගේ තියෙන්නෙ පුදුම රොමෑන්ටික් ගතියක් . හරියට මේ ලෝකෙ ඉන්නෙ එයාලා විතරයි වගේ. ඒ තමයි සේන් වල තියෙන මැජික් එක.

ආයෙත් වයින් උගුරක්…

බංකුවෙන් නැගිටලා ඇවිදින්න ආවාට මොකද එක සැරෙන්ම පාර හොයා ගන්න අමාරුයි ..දන්නැති ඉසව් වල මංගච්චන්න ගියාම මෙහෙම වෙන එක සාමාන්‍යයි මිත්‍රවරුණේ…. සේන් වල දකුණු ඉවුර යි, වම් ඉවුරයි හොයා ගන්න එක අප්‍රභංස කාරණාවක්. මතක තියා ගන්න ඕනෙ ලොකුම දේ තමා ගඟේ පහළ කොටසට මූණ දාලා හිට ගත්තාම වම් ඉවුර තියෙන්නෙ වම් පැත්තෙන්. දකුණු ඉවුර තියෙන්නෙ දකුණු පැත්තෙන්. ඔන්න පාර හරි ….

වම් ඉවුරෙයි දකුණු ඉවුරෙයි හැංගිච්ච කතාවක් තියෙනවා. මේ ඉවුරු දෙකේම තියෙනවා අපූරු කැෆේ, පුංචි බීම හල්. මනුස්සයෙක්ට ජීවිතේ රස විඳින්න හරිම පුංචි දේවල් ටිකක් විතරයි ඕනෙ. විනෝදශීලී, සෞන්දර්‍යාත්මක සාමාන්‍ය ජනයා දකුණු ඉවුරට එකතු වෙද්දි ප්‍රබුද්ධ ගණයේ අදහස් පළ කරන, රැඩිකල් මතවාදී බොහෝ පිරිසක් එක් රැස් වුණේ වම් ඉවුරට. ඔවුන්ගේ වාමාවාදී සහ කොමියුනිස්ට් මත වලින් වෙනම උප සංස්කෘතියක් බිහි වුණා. එක් කලකදී “අභූතරූපී” සිනමාව කියලා හැඳින්වුණේ මෙන්න මේ වම් ඉවුරේ මතවාදයන් සහ අදහස් වල ප්‍රතිඵලයක් ලෙස ගොඩ නැගුණු සිනමාවට.

සේන් නදියේ ඉවුරු වගේම ගං ඉවුරෙ ගල් බැමිත් හරිම සුවිශේෂයි. යුනෙස්කෝව ජොලියට ලෝක උරුම කියලා මෙව්වා නම් කරයිද ඉතින් වටින්නැත්තම්…

සේන් නදියට ශත වර්ෂ ගාණක් තිස්සේ මිනිස්සුන්ගේ හිතේ තියෙන්නෙ රොමාන්තික ආදරයක්. ඒක හරියට පුංචි ළමයෙක් අහසේ පාවෙන ලස්සන විචිත්‍ර රතු පාට බැලුමකට ආස විදියට සමාන කරන්න ත් පුළුවන්..

මගෙ හතර අතටම ඉන්නෙ එකේක විදියට ඉන්න සුද්දොයි, සුද්දියොයි. එක පාරටම මගෙ හිතට හිතවත්ම ආසියාතිකයෙක් නැති පාළුවක් දැනෙන්න ගත්තා . පාළුයි කියලා බල්ලෙක් මස් කට්ටක් දිහා බලන් ඉන්නවා වගේ සුද්දො දිහා කට ඇරන් බලන් ඉන්නෙ කොහොමද….

නෝත්‍රදාමය කියන්නෙ සේන් එක්කම බැඳිච්ච දෙයක්. මෑතකදි ගින්නකට අහු වුණත් එක්කම සේන් අවට පැත්තම මොකක්දෝ හිස් කමකින් පිරිලා ගියා. ඒ හිස්කම මනුෂ්‍ය සංහතිය පිළිබඳවම ඇති වෙච්ච හිස් කමක්.

මාරි ඇන්ටොයින්ට් ඇතුළු පිරිවර ගේ දුර්දාන්ත පාලනය 1789 දී එළවලා දැම්මෙ ප්‍රංශයේ වැඩවසම් යුගය මුලුමනින්ම ඉවරයක් කරමින්. බැස්ටීලයට පහර දීලා ආරම්භ කරපු ප්‍රංශ විප්ලවේ සාමාජිකයන් සමාජ ආර්ථික දේශපාලන අර්බුද සියල්ලටම පහර පිට පහර දුන්නා. ඒ සුසුම්, ඒ කඳුළු , ඒ විප්ලවයේ සාරය සියල්ල සේන් නදියත් එක්කම ඉතිහාසෙට එකතු වෙලා. ඉතිහාසය නැවත සිදුවෙනවා… නැවත නැවත සිදුවෙනවා…

ප්‍රංශය කියන්නෙම මනුස්ස චිත්ත සන්තානයේ අප්‍රකාශිත හැඟීම් ගොන්නක් කැටි කර ගත්තු සංස්කෘතියක් තියෙන තැනක්…මගෙ ඔළුව ආයෙත් විනාශ වෙච්ච නෝත්‍රදාමය පැත්තට හැරුණා.මේ වෙලාවෙ වික්ටර් හියුගෝ නෝත්‍රදාමය කෘතියේ මවපු එස්මෙරෙල්ඩා සහ හියුගෝ මතක් නොවුණා නම් ඒ පොත නොකියවපු කෙනෙක් ම වෙන්න ඕනෙ…මෙකළ ගිණි ගත් නෝත්‍රදාමය සහ එකළ ගිණිගත් මානුෂීය හැඟීම්..

ආපසු ගමනේ…..

දිවා සහ රාත්‍රී භෝජන සංග්‍රහ මේ ප්‍රදේශයේ තවත් අපූරු දෙයක්. ප්‍රංශයටම ආවේණික කෑම වට්ටෝරු එක්ක ඒ රැය හරිම රසවත් වෙන්න ඕනෙ නේද…

පොන්ට් ඩෙස් ආර්ට්ස් ( Pont des Arts) කියන්නෙ අනික් පාලම් වලට වඩා වෙනස් පාලමක්. ලෝහයකින් හදලා තියෙන නිසා එතනින් එහෙට මෙහෙට යනකොට ඇහෙන ටොක් ටොක් ටොක් සද්දෙත් එක්ක මිශ්‍ර වෙච්ච අමුතු හැඟීමක් දැනෙන්නෙ ගත්තා . හරියටම කියනවා නම් මම ඇත්තටම ජීවත් වෙනවා වගේ හැඟීමක්…..ටොක් ටොක් ටොක්…

අහලා තියෙන නේද ආදර අඟුල් ගැන..තනියම යන ඈයො මෙතන ඉන්න කෆල් දිහා නානා හරකෙක් දිහා බලනවා වගේ බලන්න එපා ඔන්න…බකට් පෙරලන්නෙ මොකටද….

ඔන්න ඇස් වහන් වහ ගන්න. ඇස් වහ ගන්න කලින් මම මේ කියන දේත් කියවලම යන්න. මෙතන ආදරවන්තයන්ගේ සංකේතාත්මක ප්ලේස් එකක්. තම තමන්ගේ නම් කොටපු ඉබි යතුරු අඟුලක් ගෙනත් යතුර සේන් නදියට විසි කරනවා. ඔවුන් මෙයින් සදාකාලික බැඳීමක් ප්‍රාර්ථනා කරනවා. මේ පාලමේ උඩ ඉද්දි දැනෙන හැඟීම වචනෙන් විස්තර කරන්න අමාරුයි . නිව්‍ යෝර්ක් වල බෲක්ලින් පාලමේ, සර්බියාවේ ප්‍රේමයේ පාලමේ, චීනයේ හුවාන් කන්දේත් මෙහෙම ආදර අඟුල් දාන ප්‍රසිද්ධ තැන් විදියට ගන්න පුළුවන් . මෙන්න මෙහෙම ආදරවන්තයෝ තමන්ගේ සදාකාලික ආදරේ ඔප්පු කරන්න ගිහින් පස්සෙ කාලෙක පාලමට ලොකු ඇබැද්දියක් වුණා. මේ වගේ ලොක් මිලියනයක් වගේ තිබ්බ නිසා පාලමේ ව්‍යුහෙටත් හානි වෙලා… සංසාරේ…ඔන්න ඉට පස්සෙ Love without locks කියලා සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් පටන් ගත්තා ලොක් නැතුව මෙතෙන්ට ඇවිත් සෙල්ෆි ගහලා සැබෑ ආදරේ පෙන්නමු කියලා . කොහොමද ටිකිරි මොළේ. නැත්තම් ඉතින් පාලම කැඩිලා වැටිලා, මෙතන පරිසරේ නැති නාස්ති වෙනකන් ආදරේ පෙන්නුවොත් විනාසයිනේ.

හැන්දෑ වේගෙන එනවා..මං ඔහේ එතනම..අහසේ තද රතු පාට වළාකුළු එක්කම පොළොවෙ තියෙන සේන් නදියේ බර වතුර කන්දරාවත් පාවෙනවා වගේ. ගැඹුරු නිසා වතුර නිශ්චලයි වගේ පෙණුනට ඒක ඇත්තටම එහෙම නෙමෙයි

මම තාමත් බලන් ඉන්නෙ ආදර අඟුල් විසි කරන පාලම දිහා. හැබැයි ඒ හැන්ඩ්සම් සුද්දෙක් දිහා වත් කියුට් කෆල් එකක් දිහා වත් නෙමෙයි. අවුරුදු අසූවකට කිට්ටු ඔහු ඒ තරම්ම වයස ඇයත් එක්ක අත් බැඳන් පාලම තරණය කරනවා. ඒත් එක්කම අනෙක් පසින් ආ තරුණ යුවලක් ඔවුන්ට හිනාවකින් සංග්‍රහ කරලා යනවා. මහළු යුවල හිටියෙ අහස දිහා බලාගෙන. ඈත අහසේ පාවෙන ලස්සන රතු පාට බැළුමක් ඔහුට පෙන්නලා ඇය හිනා වුණේ හරිම සුන්දර විදියට. එයගේ අතේ රතු පාට රෝස මලක්. තවත් පැත්තකින් තරුණ පිරිසක් ගිටාර් වාදනයක් එක්ක ලස්සන ගීතයක් කියනවා. ගිටාර් මියුසික් එක මාව මේ වගේ වෙලාවක පිස්සු වට්ටන තවත් දෙයක් . කම්මුලට අත තියා ගෙන හිටපු මම ඒ සිංදුවෙ තාලෙට ඔළුව වනන්න ගත්තා

L’ame enpeine
ll vit mais parle a peine
නැතිවූ ආත්මයක්, ජීවත් වන මුත් කතා කිරීමට අපහසු

Une rose a la main
A part elle il n’ attend rien
ඔහුගේ අතේ රෝස මලක්..ඔහු ඇය හැර වෙන කිසිවක් අපේක්ෂා නොකරයි..

අහස තාම රතු පාටයි…සේන් නදිය කොළ පාටයි…

©️ තාරිකා ද සිල්වා

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *