පාංශු; බබානෝනාගේ මුහුණේ ඉරියව්

ඩිල්ෂානි චතුරිකා දාබරේ

විසාකේස චන්ද්‍රසේකරම්ගේ පාංශු සිනමාපටය බලලාත් සති කිහිපයක් ගෙවිලා ගියත්, මෙතෙක් යමක් නොලියවුණේ හේතු කිහිපයක් හින්දා. සිනමාපටයේ මූලික විෂය පථය සැකසෙන, 80 අග භාගයේ ඇති වූ භීෂණ සමය ගැන වන ප්‍රමාණවත් දේශපාලනික කියවීමක් මා සතුව නොවූ නිසා. නමුත්, පැහැරගෙන යාම්, අතුරුදන්වීම්, ඝාතනය කිරීම්, පහරදීම්, තර්ජනය කිරීම් මෙන්ම අතුරුදන් වූවන් සොයාදෙන්නැයි කරන අනවරත ඉල්ලීම්, විරෝධතා, එක් එක් ආයතනවල රස්තියාදුකරවීම්, හඳුනාගැනීමේ පෙරට්ටු, සාක්ෂිකරුවන් අතුරුදන් කරවීම් හෝ පීඩිතයන් බියවැද්දීම්,  උසාවි නඩුවලට කැඳවීම්, නිමා නොවී එල්ලි එල්ලී තිබෙන නඩු වාර්තා…ගැලවිය නොහෙන ලෙස පසුපසම පැමිණෙන මේවා ගැන සවිඥාණිකව සිටි බව පැහැදිලියි.


කෙසේ නමුත්, නරඹා අවසන් වූ පසුත් ආසනයට අප අලවා තබා, හෝන්දු මාන්දු කළ සිනමාපටයක් ගැන දැනුනු විදිය වචනයකින් හෝ නොකීම හොඳ නැති නිසාත් යමක් ලියන්න හිතුණු නිසාත් පෙර කී කුසීතකම පසෙක තබා වචනයක් දෙකක් ලියන්න හිතුණා මට තේරෙන පමණින් කෙටියෙන්. ඒ ගැන දැනටමත් විකුම් ජිතේන්ද්‍ර, ප්‍රියාන් ආර් විජේබණ්ඩාර, බූපති නලින්, සාලිය ඉඳුරුවිතාන වැනි යම්කිසි ප්‍රාමාණික හැදෑරීමක් සහිත පිරිසකගේ ලිවීම් කියවන්න ලැබුණා. එබැවින් මගේ ලිවීම ක්ෂුදු වූ එක් පැත්තකට සීමා කරගන්න කැමතියි. ඒ නීටා ප්‍රනාන්දුගේ එනම් බබානෝනාගේ මුහුණේ ඉරියව්, සාත්වික අභිනය ගැන.


පාංශු සිනමාපටයේ ප්‍රධාන චරිතය වන බබානෝනා, තම පුතු අතුරුදන්ව දිනයේ පටන් ඔහු සොයමින් යන ගමන තුළ අපට මවකගේ හැඟීම් දැනීම් දැකගන්න ලැබෙන්නේ මුහුණේ සියුම් විවච්ඡේදන මගින්. තියුණු දෑසක්, නාසයක්, නිකට සහිත බබානෝනා මුව වසා සිටින අවස්ථාවලදී පවා එකී තියුණු බව පෙනෙන්ට වෙයි. ඇගේ තොල් සාමාන්‍ය ලෙස ඇති අවස්ථාවලදී වුවද පෙනෙන්නේ තරමක් තෙරපගෙන සිටින ස්වරූපයකි. දරුවා ජීවත්වනවාද නැද්ද ලෙසින් දෙලොවක වෙසෙන මව්පියන්ගේ කෑරිගැහී එක් වූ දුක් තවදුරටත් කඳුළු ලෙස ගලා නොයයි. ඒවා ඝණ වී ඇත. එකී ඝණකම නීටාගේ දෑස්වල වෙයි. එහෙත් ඒවා රළු නැත. නළලෙහි කම්මුලෙහි ගෙලෙහි මතුවෙන වියපත්/ පරිණත රේඛා ඈ විඳි දුක් සමූහය කියාපාන්නක් වැන්න.ඇගේ දෑස විනිවිද පෙනෙන්නක ස්වරූපයෙන් පෙනේ.


සිනමාපටයට නීටා ප්‍රනාන්දු තෝරාගත්තේ ඇයිදැයි වරක් වීඩියෝ පටයක පැන විමසන්නෙකුට විසාකේස පිළිතුරු දෙනුයේ, ඇගේ දෑස්වල ඇති ශෝකය ඒ වෙනුවෙන් හේතු වූ බවයි. මේ පිළිතුර සාධාරණ බව සිනමාපටය නරඹන කල වැටහේ. බබානෝනා චරිතය වෙනුවෙන් නීටා කරන රංගනයෙහි මූලික එළඹුම ඇගේ සාත්වික අභිනය බව මගේ අදහසයි. වචනයෙන් අඟපසින් ඊට කෙරෙන දායකත්වයක් ඇති බව සැබෑවක් වුව, ඇය ප්‍රෙක්ෂකයා කම්පාවට පත්කරන්නේ මුහුණේ හැසිරීම්වලිනි. පුතුගේ ඇඳුමෙහි කොටසක් පෙන්වන විට පවා, හින්දි සිනමාපටවලදී මෙන් ඇගෙන් මරලතෝනියක් පිටනොවේ. ඇය  ෂොක් වන්නේද නැත, එතෙක් කලක් ආන්දෝලනය වෙමින් පැමිණි පැනයකට නියමිත පිළිතුර-එනම් පුතු මිය ගොස් ඇති බව- නිශ්චිතව දැනගන්නා තැනදී ඇගෙන් ඉකියක ආකාරය ගත් කෙටි හැඬුමක් සහිත සෝසුම් පිටවේ. හඬා දොඩන කෑගැසීම්වල ම නොව, දරාගැනීම්වලද ශෝකය මතුකර දැක්විය හැකි බව ඇය පෙන්වාදෙයි. තුවක්කුව ගෙන පිහිනා යන අවස්ථාවේදී වැව් දියෙන් වෙන්කර දැකිය හැකි, කඳුළු පිරි දෙනෙතක් ප්‍රේක්ෂකයාට පෙනේ. නීටාගේ නිශ්චල රූ සහිත දර්ශන ගණනක් සිනමාපටයේ එන අතර, ඒවා නූතන දේශීය සිනමාපටයක සාත්වික අභිනයට දුන් උපැහරණ බඳුය. 

ඩිල්ෂානි චතුරිකා දාබරේ

Recommended For You

About the Author: Editor(A)