“නිදහසින් පස්සේ කොච්චර නම් මිනිස්සු මේ භූමියෙන් අපි යවල තියෙනවද?” -සෞම්‍ය ලියනගේ වෙනුවෙන් හඳගම සහ හපුගොඩ සටහන් තබයි-

ලංකාවේ විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ හමු වන්නේ එවැනි අය සරසවි තුළින් නෙරපා රටින් ද පිටුවහල් වීමට කටයුතු කිරීමයි. -අශෝක හඳගම-

මහාචාර්ය සෞම්‍ය ලියනගේ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඔහු දැරූ පීඨාධිපති, මහාචාර්ය ආදී තනතුරු වලින් ඉවත් කර තිබෙයි. එයට හේතුව ලෙස විශ්ව විද්‍යාල පාලක සභාව ගෙනහැර දක්වන්නේ, කථිකාචාර්ය වරයෙකු ලෙස තම පරිවාස කාලය නිමවන්නට පෙර සපුරාලිය යුතු පශ්චාත් (ආචාර්ය?) උපාධි සුදුසුකම ඔහු සපුරා නොමැති බවයි. විශ්ව විද්‍යාල පාලක සභාව ට මෙය සොයා ගැනීමට වසර හයක් ගත වී ඇත!. ඒ කාලය තුල ඔහු පීඨාධිපති සහ මහාචාර්ය තනතුරු වලට උසස් කර ද ඇත. 

සෞම්‍ය තමාගේ ආචාර්ය උපාධිය නිසි පරිධි නියමිත කාලයට සපුරා ඇත්ද නැද්ද යන්න සොයා බලා සුදුසු පරිධි කටයුතු කිරීම පාලක සභාව සතු වගකීමක් බව සත්‍යයකි. එම කටයුත්ත නිසි ක්‍රමවේදයකට අනුව සිදු කිරීමද ඔවුන් සතු වගකීමකි. එසේ වී ද නැද්ද යනු අප දන්නේ නැත. 

අප දන්නා පරිදි සෞම්‍ය සිය ආචාර්ය උපාධි සුදුසු කම සපුරා ඇත්තෙකි. ඔහු ක්‍රියාකාරී අචාර්ය වරයෙකි. සරත්චන්ද්‍ර යුගයෙන් පසු සරසවිය තුල පර්යේෂණ සංස්කෘතියක් ඇති කිරීමට තරම් ශක්‍යතාවක් ඇති අයෙකි. විදේශීය විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන සමඟ බුද්ධිමය ගනු දෙනු කිරීමට සම්බන්ධතා ගොඩ නගා ගත්තෙකි. සෞන්දර්ය විශ්ව විද්‍යාලය මෙතෙක් පැවති කලායතන මට්ටමින් ඉහලට ඔසවා තැබීමට තරම් විභවයක් ඇත්තෙකි. ලංකාවේ විශ්ව විද්‍යාල තුලින් මෙවැනි ආචාර්ය වරුන් හමු වන්නේ කලාතුරකිනි. එවැනි උගත් ක්‍රියාකාරී බුද්ධිමත් ආචාර්ය වරුන් විශ්ව විද්‍යාල තුල රඳවා ගන්නට කටයුතු කිරීම වගකිව යුත්තන් ගේ වගකීමකි.

එහෙත් ලංකාවේ විශ්ව විද්‍යාල ඉතිහාසය තුල හමු වන්නේ එවැනි අය සරසවි තුලින් නෙරපා රටින් ද පිටුවහල් වීමට කටයුතු කිරීමයි. අප සරවියේ සිටි සමයේ කැළණි විශ්ව විද්‍යාලයේ ආරියරත්න නාරද්දගේ නම් තරුණ කථිකාචාර්ය වරෙයෙකු සිටයේය. ඔහු තම ප්‍රථම උපාධියට ප්‍රථම පංතියේ සාමාර්ථයක් ලබා උපාධිය ලබා ගත්තෙකි. තරුණ උගතෙකු ලෙස ව්ශ්වවිද්යල පද්ධතිය තුලත් ඉන් පිටතත් කැපී පෙනෙන ලෙස ඉස්මතු වෙමින් තිබුණි. එහෙත් විශ්ව විද්‍යාල පාලනයට ඔහුගේ මේ සක්‍රීය බුද්ධිමය මැදිහත් වීම රිස්සුවේ නැත. ඔහුගේ සේවය ස්ථිර නොකර ඔහු සරසවියෙන් නෙරපා දැමිණි. රැකියාවක් සඳහා බැංකු ව්භාගය ලියා සරසවිය ඉදිරිපිටම බැංකුවේ ම පත්වීම ලබා ටික කලක් සේවය කර ඔහු අතුරුදහන් විය.

වසර ගණනාවකට පසු අපට ඔහු මෑතකදී හමුවන්නේ ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක කීර්තිමත් මහාචාර්ය වරයෙකු ලෙසය. කැළණි විශ්ව විද්‍යාලය ඔහුගේ සේවය ස්ථීර නොකරන්නේ එවකට පීඨාධිපති වූ මහාචාර්ය එම් එච් ගුණතිලක ගේ ප්‍රථම උපාධිය දෙවන පෙළ ඉහල සාමාර්ථයක් පමණක් වීම නිසාය යන කාරණාවේ ඇත්ත නැත්ත මා දන්නේ නැත. 

ලංකාවේ විශ්ව විද්‍යාල තුල ඉස්සරත් අදත් කටයුතු සිද්ධ වන්නේ ඔය ආකාරයෙනි. විශේෂයෙන්ම කළා පීඨ වල. 

(සිනමාවේදී අශෝක හඳගම)

නිදහසින් පස්සේ කොච්චර නම් මිනිස්සු මේ භූමියෙන් අපි යවල තියෙනවද? -මහේෂ් හපුගොඩ-

සෞම්‍ය ලියනගේ කියන්නේ යවන්න ඕනි කෙනෙක් නෙවෙයි. තියාගන්න ඕනි කෙනෙක්. වෙනස් මිනිස්සු බහිස්කරණය කරන්න ගොඩක් හදිස්සි වෙන අපි වගේ සමාජයක සෞම්‍යගේ තත්වය මට මහා ලොකු අමුතු දෙයක් නෙවෙයි. කඩදාසි කෑලි වල මොනවා හරි ප්‍රශ්න තිබුණා උනත් අපි ආස වෙන්න ඕනි ඒ වගේ කෙනෙක් අපිත් එක්ක ඉන්නවා දකින්න. ඒක නේද ලස්සන කියන්නේ? එයා අපි වගේ නොවන එකත්, අපි වගේම නොවෙන කෙනෙක් අපිත් එක්ක ඉන්න එකත්, ඒ වෙනස් කමත් එක්ක පොරොත්තු වෙන එකටත් නේද ආදරය කියන්නේ? සෞම්‍ය වෙනුවෙන් මගේ පෙම් හසුන ඒක. ඔයාට ලේසියෙන්ම, එකෙන්ම ඔස්ට්‍රේලියා යන්න පුළුවන් උනත් සෞම්‍ය ඔයා අපිත් එක්ක ඉන්න. අපි අවුල් තමයි එත් අපිත් එක්ක ඉන්න.

නිදහසින් පස්සේ කොච්චර නම් මිනිස්සු මේ භූමියෙන් අපි යවල තියෙනවද? පනස් හයෙන් පස්සේ බර්ගර් මිනිස්සු. කළු ජූලියෙන් පස්සේ දෙමළ මිනිස්සු. මුස්ලිම් මිනිස්සු. තව කොපමණ වෙනස් මිනිස්සු කැලක් අපි පිටමං කරලා තියෙනවද? තියාගන්නවට වඩා අපි පළවා හැරලා වැඩියි නේද? 

වෙනස් මිනිස්සු අප වෙතට හරවා ගැනීමේ ඒ පෙම් හසුන ලියන්න සමාජයක් හැටියට අපි අසමත් උනේ කවදා ඉඳන්ද? මිනිස් කමට වඩා අපිට දින මුද්‍රා සහිත කඩදාසි කොළ වැදගත් උනේ කවදා ඉඳන් ද? ඒ දවස කවදා උනත් එදා ඉඳන්ම අපි ජාතියක් හැටියට අසමත් නේද?

(ආචාර්ය මහේෂ් හපුගොඩ)

________________________

සියලු උපුටා ගැනීම් නම් සඳහන් ලේඛකයන්ගේ මුහුණු පොතෙනි. ඡායාරූප අන්තර්ජාලයෙනි.

Recommended For You

About the Author: Editor(A)