සජිත ඇන්තනීගේ කළුවර; රුදු රමණයේ රූපක පොකුරක් ලෙස

▪️කේ.ඩී.දර්ශන

සජිත අනුත්තරගේ කළුවර ගීතයේ පද මාලාව හා ශ්‍ර‍ව්‍ය ගුණය ගැන කියවීමක්.

සජිත අනුත්තරගෙ කළුවර ගැන ලියන මේ මොහොත වන විටත් එය යූ ටියුබ් ඔස්සේ නැරඹූ ප්‍ර‍මාණය 398 705ක්. ගීතයක හෝ රූපරචනාවක අගය නිර්ණය කරන්න ඒක ම සාධකයක් නෙවේ. පදමාලාවක් ලෙසත්, ගීතයක් ලෙසත්, රූපරචනාවක් ලෙසත් විශේෂයෙන් කතා කරන්න තරම් දෙයක් ප්‍ර‍දානය කරල තියන නිසා මම මේ ගීතයට කැමතියි. මෙතැන දී මම අවධානය යොමු කරන්නෙ පද රචනාව හා ගීතයේ ශ්‍ර‍ව්‍ය අගය ගැන පමණයි. (රූපරචනාව ගැන ඉඩ ලැබෙන වෙලාවක මීට වඩා විචාරාත්මක අදහසක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.)

කළුවරහි ප්‍ර‍ධාන චරිතය කළුකුමාරයා. ලංකාවේ ශාන්තිකර්ම සම්ප්‍ර‍දායේ අපි අහල තියන කළුකුමාරයා කිසියම් නූතන අර්ථයක් කවමිනුයි මේ ගිතයෙන් ඉදිරිපත් කෙරෙන්නෙ. පදවල අර්ථ ඉතාම ලිංගිකයි. හැම වචනයකින් ම වගේ ලිංගික සංඥා මවනවා. දේශීය නර්තන කලාව, ශාන්තිකර්ම ඇතුළු ජනශ්‍රැතිය පිළිබඳ බහු පඨිතයෙක් වන ජැක්සන් ඇන්තනීන් හොඳින් ම දන්නවා අපේ ශාන්තිකර්මවල තියන ලිංගික සංඥා ගැන. ඒ නිසා ඔහු ලියූ මේ ගීතයේ යටිපෙළ ලිංගික සංඥා පොකුරක්…

කළුකුමාරයා ස්ත්‍රීන් කෙරෙහි ඇල්ම-බැල්ම හෙළන යක්ෂයෙක්. ඒ වගේම යක්ෂ වේෂය ගත් මනෝලිංගික සංඥාවක්. ස්ත්‍රීන්ට මානසික උමතුව, ලේමාල, කිලිමාල, දරුගැබ් විනාශ කිරීම, නිදි යහනේ බය කිරීම්, සිහිනයෙන් ඇඟට පැන රමණය කිරීම වැනි කරදර හිරිහැර ගණනාවක් කළුකුමාරයා පමුණනවා.

අතර මැදදි තව විස්තර කතා කරමින් ගී පද වෙතට යමු.

වෙස් තට්ටට උඩින් වරෙන්

අයිලෙ යටින් රිංග වරෙන්

මේ කප අරගන්ඩ වරෙන්

නාග දරණ ඔඩ්ඩි යස්සනී

යක්තොවිල්වල, ශාන්තිකර්මවල එන යක්ෂ ආරාධනාවක හැඩය මුල් කවි දෙකේ දකින්න පුළුවන්. සජිතගේ හඬ එය නූතන සංගීතය පුරුදු කළ කන්වලට මෘදු සහ ළයාන්විත ලෙස ඇසෙන්නට සලස්වනවා(සාම්ප්‍ර‍දායික ශාන්තිකර්මවල කවි ගායනා කෙරෙන්නෙ රළු, නොපෙරූ හඬකින්). වෙස් තට්ටට උඩින්, අයිලය යටින් රිංගා කප පුද ගැනීම සඳහා ඇරයුම් කෙරෙනවා. මේ ඇරයුම කළු කුමාරයා විසින් ස්ත්‍රියකට(ඔඩ්ඩි යක්ෂණී) කෙරෙන්නක් ලෙස හඳුන ගන්න පුළුවන්. අයිලෙ කියන්නෙ ආභරණ, පූජා භාණ්ඩ, පිදවිලි ආදිය තැන්පත් කෙරෙන කෙසෙල් කොට, පතුරු, ගොක්කොළ ආදියෙන් හදපු මැස්සට. කප හෙවත් කප් සිටුවීම කියන්නෙ ශාන්තිකර්මයක් පටන් ගන්න පෙර දෙවියන්-යකුන්ට කරන ප්‍ර‍තිඥා දීමක්. කප සඳහා කිරි ගහක අත්තක් හරි නැවුම් පුවක් ගසක් හරි යොදා ගන්නවා. කප කියන්නෙ මෙතන දී(ගීතයේ) සෘජුවම පුරුෂ ලිංග සංකේතයක්. ඕඩඩි යස්සනී සූනියම් යක්ෂණීට සමාන වචනයක්. සූනියම් යක්ෂයා පුරුෂයෙක් බව පොදු පිළිගැනීම වුණත්, දහඅට සන්නියේදි සූනියම් යක්ෂණිය දකින්න පුළුවන්. මෙතන දී ඔඩ්ඩි යක්ෂණී කියන ආමන්ත්‍ර‍ණය ලිංගික ආවේගයේ ආමන්ත්‍ර‍ණයක් මිස නිශ්චිතවම සූනියම් යක්ෂණියට කරන්නක් නොවෙන්න පුළුවන්. විශේෂම වචනෙ තමයි ‘නාගදරණ’. නාගයා පුරුෂ ලිංගයේ සංකේතයක්. මේක සිග්මන් ෆ්‍රොයිඩ් මනෝවිශ්ලේෂණවාදයේ දී පැහැදිලිව සංකල්ප ගත කරලා තියනවා. නාගයා පමණක් නොවේ සිහිනයෙන් දකින පිටතට නෙරූ දිගටි දෑ පුරුෂ ලිංග සංකේත හැටියට ඔහු නම් කරනවා. ඇතුළට නෙරූ දෑ, සිදුරු හා ගුහා යෝනි සංකේත. මහනුවර කාලෙ නම සඳහන් නොවන කවියෙක් ලියූ යශෝදරාවතේ එන ‘රිදී කඳයි නයි පැටියෙක් දෙරණ වට’ කවි පදයෙන් කියවෙන්නෙ මහාමායා දේවිය දකින සිහිනයක කොටසක් ගැන. ඒක අපි කලින් කියූ ෆ්‍රොයිඩියානු අදහස සිහි කරනවා. උඩින් පැන, යටින් රිංගා ආවේගකාරී රමණයක් සඳහා කරන ඇරයුමක්. දෙවන කවියට යමු.

මට වින අරගන්ඩ වරෙන්

මල් වියනෙන් බැහැලා වරෙන්

යහන් තලා රූ පරලේ

පහන් නිවමු කීල පන්දමේ

මේ ඉතිරි පියවර. කළුකුමාරයා විසින් කරන ආරාධනාව රුදු රමණය සඳහා ස්ත්‍රියකට කෙරෙන ප්‍ර‍චණ්ඩ පුරුෂ ඇරයුමක්. දල්වා ඇති කීල පන්දම් නිවා, යහන් තලාවට කෙරෙන ඇරයුම සුදු මුදු ඇරයුමක් නොවන බව ඉදිරියේ දි තේරුම් යනවා. මේ කවියත් අපිට ඇහෙන්නෙ ආරාධනා ස්වරූපයෙන්.

කළුවර කළු දෙයියෝ

මල්වර මල් දෙයියෝ…

කළුකුමාරයා හෙවත් කළුදේවතා ඇතැම් ප්‍රදේශවල හඳුන්වන්නේ කළුයක්ෂයා කියලා. ඇතැම් අවස්ථාවල මේ දෙන්නා දෙන්නෙක් බව කියවුණත් පොදු පිළිගැනීම කළුයකා සහ කළුකුමාරයා එක්කෙනෙක් බවයි. කළුකුමාරයා විසින් තමයි රිද්දි බිසව් සත්කට්ටුව වඳභාවයට පත් කරන්නෙ. පහත රට ප්‍රදේශවල පැවැත්වෙන රිද්දි යාගය ශාන්තිකර්මයේ කළුකුමාරයා ගැන කියවෙනවා.

‘රුදුරු අවතාරය – දරාගෙන සිත නෑරය

කළු කුමරු බැහැරය – උපන් බිළිඳුන් නසන වෛරය’

ඒ කවිය කළුකුමාරයාගේ බිහිසුණු බව කියනවා. සබරගමු පළාතේ කළුකුමාරයා අවතාර පහකින් එන බව කියනවා. ඒ අඳුන් කුමාර, සඳුන් කුමාර, කළු කුමාර, තොට කුමාර, වට කුමාර ලෙසයි. ස්වරූප ගණනාවකුත් තියනවා. බල්ලෙකුගේ, වඳුරෙකුගේ, හරකෙකුගේ, රාක්ෂයෙකුගේ වේශ ඔහුට ගන්න පුළුවන්.

කළුවර රූපරචනාව ආරම්භ වෙනකොටම ඉන්න බල්ලා මේ කළුකුමාර අවතාරය බව පැහැදිලියි.

කළුවර කළු දෙයියෝ

මල්වර මල් දෙයියෝ…

කළුයකාගේ රුදුරු බව වගේම ලිංගිකත්වයට දක්වන ගිජු බවත් මේ දෙපදයෙන් කියවෙනවා. ඒ වගේම යක්ෂ ආරාධනාවක ස්වරූපයෙන් ගැයුණු මුල් කවි දෙක මේ දෙක ගායනා කරන විලාසයෙන් ඛණ්ඩනය වෙනවා. කළු දෙයියන්ගේ(කළුකුමාරයා) තෙද-බල මතු කරනවා.

කළුකුමාරයා ගැන කියවෙන කවිවල මල්වර වචනයත්, ඒ භාවයත් දකින්න පුළුවං. පහත උපුටා දක්වන කවිය බලන්න.

‘මල්වර වෙලා ඉස්නානෙට යන ගමනේ

මනකල් වෙලා හඬ තලමින් නාන තැනේ

මල්වර තරුණ අඟනන් දැක අල්ල මිනේ

ඇල් නොව රකින ආතුර කළු කුමරාවනේ ’

මීළඟ පැදි පෙළ ප්‍ර‍චණ්ඩයි. රුදු රමණයේ උච්චතම මොහොත විය හැකියි. චණ්ඩ-ප්‍ර‍චණ්ඩ-බිහිසුණු-මරණය කැන්දන පුරුෂ ලිංගය ම රජයන රමණයක්…

තල මල කපා

මල ගොබ හපා

වලඋඩ දපා

තුනුඅඟ පපා

මට ලේ බොන්න දිය

මරු වැල අන්දපිය

කරුවල සංගෙදිය

දරු ගැබ වසාපිය

මෙය දරුවන් උදෙසා හෝ ලිංගික සංතෘප්තිය උදෙසා කරන රමණයක් නොවේ. අශ්ශීල, අද්භූත, චණ්ඩ-ප්‍ර‍චණ්ඩ, මරණීය රමණයක්. පුරුෂ ලිංගයේ හිමිකරු දරු ගැබ පැතීම නොව, වැනසීම අපේක්ෂා කරනවා. කළු යකා බිලිඳුන් මරා දමන බවත්, රුධිරය උරා බොන බවත් ශාන්තිකර්ම කවිවල කියැවෙනවා.

‘හීනෙන් ඇවිල්ලා

ළඟ සැතපෙමින් ඉඳලා

බිලිඳුන්ව අල්ලා

කඩයි පිටිකර බෙල්ල අල්ලා’

තලමල පිපීම වනාහී එම ගසේ මරණයයි. තල ගසක මලක් පීදුණු පසු එම ගස මිය යන බව පැවසෙනවා. ඒ වගේම ගමකට තල මලක් පිපීම කිසිසේත්ම සුබ නිමිත්තක් නොවන බවයි ගැමියො හිතුවෙ. ගසෙන් උපන් මල ම ගස මරා දමන නිසා විය හැකියි. එවැනි තල මල කපා, ගොබය ඇද දැමීම සෙල්ලම් ක්‍රියාවක් නෙවේ. එය බිහිසුණු, ප්‍ර‍චණ්ඩ බව සංකේතවත් කරනවා. රමණය සඳහා දපන්නේ සයනයක නෙවේ, වල උඩයි. ඇඳක් උඩ කරන දේ වළක් උඩ කරන රූපය අපිට හඟවන්නෙ මරණයමයි. තුනු අඟ හෙවත් පුරුෂ ලිංගය ප්‍ර‍ර්ශනය කරමින් කරන මේ රමණ ඇරයුම මරණීය රමණයේ සංකේතයක් මිස වෙන මොකක්ද? ඉහත පදවල ගායන විලාසයත්, ළඟ ළඟ කැඩෙන වචනත්, අර්ථත් මවන්නේ කලින් කියපු ප්‍ර‍චණ්ඩ සංසර්ගයයි. ‘මරුවැල අන්දපිය – කරුවල සංගෙදිය’ යන්නෙන් ඒක තව තවත් තීව්‍ර කෙරෙනවා. තුනු අඟ පාන යක්ෂයාගේ හද ගැස්ම සිහි කරනවා.

තී මට දැපනෙ වරෝ

මයෙ කීල යස්සනී

වී ඇට විලඳ පරමල් කෑ බවලත්තී

රන් පොට ලමැද කිරි පබුලුවෙ දැවටිච්චී

වංගෙඩි පලන හනුමන්තට රැවටිච්චී

මල්වර රැයේ කළුවර වී ඉපදිච්චී

මෙතෙක් ගලා ආ චණ්ඩ ගායන විලාසය මෘදු වෙමින් අනුකම්පාව මුසු ස්වරයක් ගන්නවා. මෙය අසන්නාගේ හිතේ ඇය ගැන අනුකම්පා වේදනාවක් ඇති කරන්නට සමත්. ‘තී මට දැපනෙ වරෝ – මගෙ කීල යස්සනී’ කියන දෙපදය සජිත ගායනා කරන්නෙ ඉතාම ළයාන්විතව, ඇරයුම් සහගතව, මෝහනීයව. සැබැවින්ම දපනෙ වට්ටවන ස්වරයෙන්.

එක් අතකින් මෙය අතීතාවර්ජනයක් වගේ. රැවටිලිකාර කාමාතුරයාගේ ආලිංගනයෙන් මුලා වූ තැනැත්තිය මුහුණ දෙන ශෝකාන්තය ‘මල්වර රැයේ කළුවර වී ඉපදිච්චී’ යන්නෙන් අර්ථ ගැන්වෙනවා. වී ඇට, විලඳ, පරමල් මේ සියල්ල අභිචාරාත්මක, පුද පූජාමය වගේ ම කළු පැහැයට හුරු අඳුරු සංඥා මවනවා. වී ඇට සශ්‍රීක හැඟීම මැව්වත් වී බැද සකසා ගන්නා විලඳ අභිචාරමය ස්වභාවයකුයි මවන්නෙ. විලඳ අපේ සම්ප්‍රදායේ බෙහෝමයක් අවස්ථාවල භාවිත කරනවා. විශේෂයෙන් ම දෙවියන් හා යකුන් උදෙසා කරන පුදපෙත්වලදි වගේ ම මළ දේහය භූමදානයට පෙර ඉසීමටත් විලඳ භාවිත කෙරෙනවා. පරමල්වල සංඥාව පරමල්ම තමයි. ඒක මරණය පිළිබඳ රූපකයක්. මේ දේවල් අනුභව කළ බවලත්තී යනු අනිවාර්යය ආගාධයේ, මරණ මංචකයේ ඉරණම වැළඳගත් ස්ත්‍රියයි. ළදරුවන් පිළිබඳ සංඥාවත්, මෘදු හා අහිංසක බවේ සංඥාවත් ‘රන් පොට ළමැද කිරි පබලුවෙ දැවටිච්චී’ යන පදයෙන් හැඟවෙනවා.

වංගෙඩි පලන හනුමා කියන්නෙ ලිංගිකාර්ථයක්. අප එය එදිනෙදා වහරේ දී ‘දර පලන හනුමා’ යනුවෙන් යොදනවා. ‘හනුමා දර පලන්නා වාගේ’ කියන්නෙ ප්‍රචණ්ඩ ලෙස කරන පුරුෂ ලිංගික හැසිරීමකට. කලින් පදවල හමුවුණු නාගදරණයත්, කපත්, තුනු අඟත් මේ වංගෙඩි පලන හනුමාගේ මෝල්ගහමයි. වංගෙඩිය කියන්නෙ ස්ත්‍රී ලිංගයට බව අමුතුවෙන් කිවයුතු නෑ. කොටන්නට තියෙන වංගෙඩිය පැලීම කියන යෙදුමත් මෙයින් ම පැහැදිලි වෙනවා. මේ මෘග ලිංග දරන්නාට රැවටුණු ඇය,

මල්වර රැයේ කළුවර වී ඉපදිච්චී…

ඇගේ ජීවිතයට කළු පැහැති(ආදරනීය නොවන) දරු ගැබක් ඇතුළු වීම ද, කළු කුමාරයාගේ උපත ද මේ පදයෙන් ඉඟි කරනවා.

ආල ලීලාවේ මුරුගසං වරුසාවේ

කළුකුමාර දරන මංගල්ලේ

මයෙ පපුව බල ඇවිලෙන ගින්න බල

තුනුවිල වතුර තුළ කිමිදෙන

දාර නාගයා

ලෝදිය කල්කෙ වමාරා

මල් යහන් ගිනිලෑවෝ

පෙර ඇසූ කරුණ රසය හඟවන පැදිය අවසන්. නැවතත් අර පුරුදු රමණයේ නෂ්ටාවශේෂයන් වෙත යන්න ආරාධනා කෙරෙනවා. ආල ලීලාව, එහෙමත් නැත්නම් ආල ස්වරූපය, හැඩය, අවස්ථාව කියන්නෙ රළු හැඟීමක් නෙවේ. එය බිය වෙනුවට ගේන්නෙ සතුට. ප්‍රහර්ෂය. උන්මාදය. එසේ වුණත් ආල ලීලාව පැමිණෙන්නේ මුරුගසං වරුසාව සමගින්. මේක සුබ ලකුණක් විය නොහැකියි. වර්ෂාව ප්‍රේමනීය වුණාට මුරුගසං වර්ෂාව ප්‍රේමනීය නෑ. එය ප්‍රචණ්ඩ වර්ෂාවක්. අනුකම්පා විරහිත වර්ෂාවක්. කළුකුමාර මංගල්ලයේ රුදුරු රති කෙළියේ පවතින අඳුර ගැන මේ පදවලින් ඉඟි කරනවා.

කළු යක්ෂයාගේ පපු කැවුතු උණු කරගෙන මුදුන් වෙන රාගය ගින්න හා උඩඟු පුරුෂ ලිංගය දාර නාගයාගෙන් සංකේතවත් වෙනවා. තුනුවිල කියන්නෙ ස්ත්‍රී ලිංගයට. (තුනු = ශරීරය / තුනුවිල = ශරීරයේ තිබෙන විල) දැවැන්ත නාගයා තුනුවිල වතුරේ කිමිදීම කියන රූපකය තවදුරටත් පැහැදිලි කළ යුතු නැහැ.

ලෝදිය කල්කෙ වමාරා

මල් යහන් ගිනිලෑවෝ

යෝනිය තුළ ගිලෙමින් පවතින මහ විසාල පුරුෂ ලිංගය මල් යහන ගිනි තබන්නේ ඒ මතට ලෝදිය කල්කය වමාරමින්. මේ පද ශාන්තිකර්මවල එන දෙපිට කැපෙන වදන් තරම්ම ලිංගිකයි. සාහිත්‍යමය ආලේපවලින් රස ගන්වා නොතිබුණා නම් ඊනියා සදාචාරවාදීන්ට කුණුහරුප රොත්තක් විදියට පේන්නත් ඉඩ තිබුණා. ජැක්සන් ඇන්තනීන්ගේ පද ලිහා ගැනීම කියන්නෙ එහෙම පිටින් ම රුදු රමණ අවස්ථාවක් මවා ගැනීම. අදාළ වචන ගැන අවබෝධයක් තියන ඕනෙම කෙනෙකුට ඒක සිනමා දර්ශනයක්. එහෙත් එය සාමාන්‍ය ස්ත්‍රී පුරුෂ ආලිංගනයක් නොවන බව කිව යුතුයි. අසාමාන්‍ය, චණ්ඩ හා ප්‍රචණ්ඩ ආලිංගනයක්. ඒකට ආලිංගනය කියන වචනය කොයිතරම් ගැලපෙනවද කියලත් හිතන්න වෙනවා.

මල් යහන යාතුකර්මවලදී දෙවියන්ට හෝ යක්ෂයන්ට පුදපෙත් දීම සඳහා සිටුවා ඇති, පහන් දල්වන යහනයි. එය පූජනීයත්වයක් උසුළනවා. දාර නාගයාගේ ලෝදිය කල්කය හෙවත් සුවිසල් පුරුෂ ලිංගයෙන් වෑහෙන උණු ශුක්‍රානු ස්ත්‍රියගේ ගර්භාෂය වෙත ගැබක් පිළිසිඳ ගැනීමේ සංඥාව යවනවා. එය රුදුරු වේදනාවේ සංඥාවක්. කාම ලෝදිය දහරාව සැබෑ රස්නයට එහා ගිය ගිනියම් බව පිළිබඳ දැවැන්ත රූපකයක් මවන බව නිගමනය කරන්න පුළුවන්.

ඒ ගිනිකඳ බෝවී

ලෝ තුළ ලඳුන් බිලි වී

ගිනිකඳු නිවී හළුවී

හත්තිලව්වේ

මෙය සමාජ ඛේදවාචකයක් ලෙස සිතා අර්ථ ගන්වන්න පුළුවන්. එය පදවල අර්ථය පාදාගෙන දෙවනුව තේරුම් ගත යුත්තක්. මේ පද රචනාව තුළත්, පොදුවේ සාහිත්‍ය තුළත් ගින්දර සංකේතවත් කරන්නෙ රාගය. සමස්ත පැදි පෙළ තුළ එම ගින්න ප්‍රචණ්ඩ ගින්නක්(ප්‍රචණ්ඩ රාගයක්) ලෙස නිරූපිතයි. කළු යක්ෂයාගේ මේ ප්‍රචණ්ඩ කාමුකත්වයේ බලය විසින් ස්ත්‍රී වර්ගයා පෙළන ආකාරය මින් නිරූපනය වෙනවා. මෙහි එන කළුයකා සංකේතයක් ලෙස ගෙන සමාජ විමසුමක් කිරීමට ද ඉඩක් ලැබෙනවා.

අවසාන පද කිහිපය මේ සමස්තය චක්‍රයක් කොට අවසන් කරනවා.

ෆීනික්ස් කුරුල්ලා මිය ගිය පසු තමාගේම අළුවලින් නැවත පණ ලබන්නා සේ මේ යක්ෂයා ද උණු අළු පල්ලේ සිට නැවත නැවත එනවා. මේ සිදුවීම කිසියම් ආකාරයක චක්‍රීය රටාවකට සිදු වන්නක් බව රචකයා ඉඟි කරනවා.

උණු අළු පල්ලෙන් නැගී ආවෝ

කළුවර කළු දෙයියෝ

මල්වර මල් දෙයියෝ…

කළුකුමාර පුරාවෘත්තය පාදක කර ගනිමින් නිර්මාණය කර තිබෙන කළුවර ගීතය ශ්‍රවණයේ දි අපට ස්ත්‍රීවාදී නැඹුරුවකින් ඒ දෙස බලන්න පුළුවන්. එය පුරාවෘත්තය හා සම්බන්ධ සාම්ප්‍රදායික කතාන්දරය සිහි කරනවා වගේ ම චණ්ඩ පුරුෂ ලිඟු හමුවේ තැලෙන ගැහැනිය පිළිබඳ නූතන කතාවකුත් ඉදිරිපත් කරනවා. එහෙත් සජිතගේ රූප රචනය මේ කතාන්දරය ඒ තරම්ම පහසුවෙන් ඉරි ගසා කියවා ගැනීමට ඉඩ තබා නැහැ. පද රචනයේ දි මතු කෙරෙන සංවාදය රූප රචනයේ දී පරස්පර බවක් මවනවා. එය දුර්වල බවක් නෙවේ මින් හඟවන්නෙ. වඩාත් සංකීර්ණ අර්ථ වෙත යාමට ආරාධනා කරන බවයි. රූප රචනය ගැන වාක්‍යයෙන් දෙකෙන් කියා ලිස්සා යාම නුසුදුසු නිසා මම එය පසුවට කල් දමනවා. අවසාන වශයෙන් තවත් යමක් සඳහන් කළ යුතුයි. කළුවර ගීතයේ රංග වින්‍යාසය, ඒ කියන්නෙ වෘත්තාන්තය අතර සජිත හා තවත් නර්තන ශිල්පීන්, ශිල්පිනියන් කරන රංගනයට වඩා ඔවුන් කැලණිය විශ්වවිද්‍යාලයේ දී කළ කළුවර නමැති ප්‍රාසාංගික නාට්‍යයේ රංග වින්‍යාසය මා සිත් ගත් බව සඳහන් කළ යුතුයි.

-කේ.ඩී.දර්ශන-

Recommended For You

About the Author: Editor(A)