සෞන්දර්යවේදය හා කලා රසවින්දනය ආනන්ද කුමාරස්වාමි ලිපි සරණිය සිංහල පාඨකයාට පිදුණු විශිෂ්ට ලිපි සරණියක්

©චින්තක රණසිංහ

ප්‍රවේශය

සෞන්දර්ය විද්‍යාව පිළිබඳ සිංහල මාධ්‍යයෙන් පවතින කතිකාව දියුණු රටක කතිකාව සමග සසඳන කල අතිශයින්ම දිළිඳු මට්ටමක පවතී. මෙය කර්ණ කටුක යථාර්ථය වෙනස් කළ හැක්කේ බරසාර න්‍යායික ග්‍රන්ථ පරිවර්තන, අනුවාද හෝ අනුටීකාමය විවරණ මගින් විවිධ බසින් සිංහලට රැගෙන ඒමෙනි. ඒ සියල්ල අතරිනුත් වඩා අසීරුවන්නේ පරිවර්තනයයි.
ආනන්ද කුමාරස්වාමි සහ විල්හෙල්ම් හේගල් යන දාර්ශනික සෞන්දර්යවේදීන්ගේ විශිෂ්ට ලිපි කිහිපයක පූර්ණ සිංහල පරිවර්තන සංග්‍රහයක් ව්‍යක්ත සිංහලෙන් පළවීම මෙබඳු සන්දර්භයක් තුළ කලාකාමී පුරවැසියාගේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. සූරිය ප්‍රකාශනයක් ලෙස පළ වූ මෙම පරිවර්තන සංග්‍රහයේ නම ‘සෞන්දර්යවේදය හා කලා රසවින්දනය – ආනන්ද කුමාරස්වාමි ලිපි සරණියයි. පරිවර්තකයා දිගුකාලීනව සම්භාව්‍ය කෘති ගණනාවක් සිංහල පාඨකයා වෙත මහත් වගකීමෙන් රැගෙන ආ විශිෂ්ට පරිවර්තක ආනන්ද අමරසිරිය.

ආනන්ද කුමාරස්වාමි පිළිබඳ සිංහල කතිකාව

50 හා 60 ගණන්වල කුමාරස්වාමි පිළිබඳ උනන්දුවකින් කටයුතු කළ සිංහල උගතුන් අතර ප්‍රමුඛ වන්නේ අමරදාස වීරසිංහ ඇස්.ජී. සමරසිංහ ප්‍රමුඛ සංස්කෘති සඟරාව පළ කිරීම සඳහා මුල් වූ තරුණ කණ්ඩායමයි. ඔවුන් කුමාරස්වාමිගේ නමින් සඟරා කලාපයක්ද පළ කළ අතර ඔහුගේ ‘මධ්‍යකාලීන සිංහල කලා කෘතිය පරිවර්තනය කිරීමට සැලැස්මක්ද පිළියෙළ කළ බව පැවසේ. එහෙත් එය අසාර්ථක වූ අතර එම කෘතිය 1962 පරිවර්තනය කරන ලද්දේ එච්.ඇම්. සෝමරත්න විසිනි. කුමාරස්වාමිගේ ප්‍රකට ලිපියක් වූ ‘උඩරට ප්‍රභූන්ට විවෘත සංදේශයක් යන ලිපියද සිංහලට පරිවර්තනය වූයේ එම යුගයේ දීමය. එහෙත් 70 ගණන්වල අග භාගයෙන් නිමවන එම බුද්ධි ප්‍රබෝධයෙන් පසු කුමාර ස්වාමි පිළිබඳ සාකච්ඡාව ගිලිහී ගිය අතර එය හුදෙක් මධ්‍යකාලීන සිංහල කලා කෘතියට පමණක් සීමා වූ බව පෙනේ. නැවත කුමාරස්වාමි පිළිබඳ සිංහලෙන් පළවන ලේඛනය වන්නේ 2014දී සම්පත් බණ්ඩාර පළකළ ‘ආනන්ද කුමාරස්වාමි – විශ්වීය මිනිසෙකුගේ ජීවිතය හා නිර්මාණ’ නම් කෘතියයි. කුමාරස්වාමි හඳුනා ගැනීම සඳහා ඉතා වැදගත් ලේඛනයක් වන මෙහි කුමාරස්වාමිගේ ලිපි ලේඛන නාමාවලියක් විධිමත්ව සකසා තිබීම අගය කළ යුතු කරුණකි.


ඉංග්‍රීසි මාධ්‍යයෙන් කටයුතු කරන පිරිස් අතර කුමාරස්වාමි පිළිබඳ කතිකාවක් පැවතියද එයද ගැඹුරු ඉසව් කරා විහිදී ගිය බව නොපෙනේ. එයට එක් හේතුවක් වන්නේ කුමාරස්වාමි යෙදූ, සිංහල යන වදන බොහෝ ව්‍යාජ ප්‍රාඥයන් කුප්පවීමත්, පශ්චාත් – නූතන න්‍යායයත් අවිචාරීව වැලඳ ගැනීම තුළ සම්භාව්‍ය දේවල් කෙරෙහි දක්වන මුග්ධ අවතක්සේරුවන්ය.
සෞන්දර්යවේදය හා කලා රසවින්දනය


ආනන්ද අමරසිරිගේ මෙම පරිවර්තන ලිපි සරණිය කුමාරස්වාමිගේ ලිපි 4ක පරිවර්තනයෙන් හා හේගල්ගේ ලිපි තුනක පරිවර්තනයෙන් සමන්විතය. කුමාරස්වාමිගේ ලිපි හතර මෙසේය.

1.කවර ලෙසකින් වුවද කලාවෙහි ඇති ප්‍රයෝජනය කවරක්ද?

2.කලාවේ ක්‍රිස්තියානි හා පෙරදිග නැතහොත් සත්‍ය දර්ශනවාදය

3.ඒ සුන්දරත්වය යනු කිසියම් තත්ත්වයකි.

4.ආසියාවේ කලා න්‍යායය

කුමාරස්වාමිගේ භූමිකාව ශාස්ත්‍රඥයකු වශයෙන් බෙහෙවින් සංකීර්ණ වුවද අමරසිරි තෝරා ගන්නා ලිපි හතරම කේන්ද්‍ර ගතවන්නේ කලා රසාස්වාදනය නමැති තේමාව යටතේ බව පෙනේ. පෙරදිග හා අපරදිග සෞන්දර්යවේදී කතිකාව තුළ තම විශිෂ්ට භාෂා ඥානය (කුමාරස්වාමි භාෂා විශාල ගණනාවක් දැන සිටි අයෙක් වූ අතර විවිධ භාෂාවලින් තම ලිපි ලේඛන රචනා කළේය.) උපයෝගී කොටගනිමින් සැරිසරන හෙතෙම වර න්‍යාය හුදු විලාසිතාවක් බවට පත් කර නොගනිමින් න්‍යාය උපයෝගී කොට ගනිමින් රසවින්දන ශක්‍යතා සහ විචාර චින්තනයේ ගැඹුරු පතුළට කිමිදේ. පහත දැක්වෙන්නේ කවර ලෙසකින් වුවද කලාවෙහි ඇති ප්‍රයෝජනය කවරක්ද? ලිපියෙන් උපුටා ගත් කුඩා කොටසකි.
‘අවලෝකනයෙහි හැකියාව නොමැත්තාට කලාකරුවකු විය නොහැකිය. ඔහුට නිපුණ ශිල්පියකු බවට පමණක් පත්විය හැකිය. කලාකරුවා අවලෝකනාත්මක පුද්ගලයෙකු හා යහපත් ශිල්පියකු යන පුද්ගලයන් දෙදෙනා බවටම පත්විය යුතු යැයි තරයේ ඉල්ලා සිටිනු ලැබේ.”
55 පිටුව


නිපුණ ශිල්පියකු හා පරිකල්පනාත්මක ගුණයෙන් හෙබි කලාකරුවා අතර පවතින වෙනස ගැන කියවෙන යථෝක්ත අදහස් ඉතිහාසයට වඩා අත්‍යන්තයෙන්ම වලංගු වන්නේ වර්තමානයටය. මක්නිසාදයත් අප ගත කරන මේ මොහොතේ පරිකල්පනය හා අවලෝකනය හුදෙක් සම්මත කරගත් ශිල්පීය ආකෘතියකට සරල කොට තිබෙන නිසාය. සාහිත්‍ය කෘති තේරෙන වට්ටෝරු ක්‍රමය මේ සඳහා කදිම නිදසුනකි. සිංහල නවකතාවේ පශ්චාත් නූතන වට්ටෝරු පරිකල්පනය තවත් නිදසුනකි. කුමාරස්වාමිගේ කලා විග්‍රහය ඒ ඒ න්‍යායන්වලට සිරගත කළ නොහැකි වීම එහි පවතින විශිෂ්ටත්වය වන අතර බොහෝ විද්වතුන් කුමාරස්වාමිව අතහැර දමා ඇත්තේද මේ ලාභ සිල්ලර න්‍යායයන් ඔහු තුළින් උකහාගත නොහැකි නිසා බව පෙනී යයි.
තවත් උදාහරණයක් ගෙන බලමු.
අතිශයින්ම සුන්දර රූපාකෘතියක් අපි දකින්නෙමු නම් ඒ තුළින් දීප්තියෙන් බබලන්නේ දෙවියන්ගේ ප්‍රතිබිම්බයයි. සුන්දරත්වය දකින හා හඟින තාක් දුරට, අප දකින අපගේ දෙවියන් වහන්සේය. යන්නෙන් උන්වහන්සේ රූපාකෘති නිර්මාණය කළහ යන්න අදහස් නොවේ. කුඹල්කරුවාගේ අත ලිස්සා ගියේනම් ඒ රූපාකෘති සුන්දර නොවන්නට ඉඩ තිබිණි.
103 පිටුව


බැලූ බැල්මට මෙය සරල භෞතිකවාදියෙකුට විඤ්ඤාවාදයක් ලෙස පෙනී යා හැකිය. එනමුත් මෙහි ගැබ්වන්නේ මධ්‍යකාලීන යුරෝපීය සෞන්දර්ය චින්තනය ප්‍රායෝගිකව කලා විචාර සංවාදයට ගෙන ඒමට දැරූ ප්‍රශස්ත තැතකි. එය හුදෙක් දේව භක්තියට අන්තගාමී ලෙස සිරගතවූ ආගමික බැතිමතෙකුගෙන් ප්‍රායෝගික ලෝකයට පැමිණි විචාරකයෙකුගේ තැතක් බව කුඹල්කරු පිළිබඳ උදාහරණයෙන් පෙනී යයි. මේ අනුව කුමාරස්වාමි පෙරදිග අපරදිග දර්ශන තුළනාත්මකව කලා විචාරයට ගෙන ආ විරල විශිෂ්ටයෙකි.
පෙරදිග හා අපරදිග අතර පවතින කලා රසාස්වාදන චින්තනයේ පදනම ගැඹුරින් ග්‍රහණය කරගන්නා කුමාරස්වාමි මෙසේ පවසයි.
“පෙරදිග කලාව පිළිබඳ ශාස්ත්‍රීය ගුණාංග විසින් නූතන යුරෝපීය නරඹන්නකු තුළ ඇති කරවන ප්‍රථම ප්‍රතිලාභය වන්නේ ඒකාකාරීත්වය පිළිබඳ හැඟීමය. සාහිතය කලාවේදී හා මුර්තීය කලාවේදී මිනිසුන් කරන ක්‍රියාකාරකම්වලට අනුව ඔවුහු පුද්ගලයන් වශයෙන් සුවිශේෂ කොට නොදැක්වෙති. ඒ පිළිබඳව මතක තබා ගත යුත්තේ පෙරදිග කලාපයේ චිරාගත මතය තීරණය කැරෙන්නේ මිනිසා කරන දෙයින් මිස ඔහුගේ විශ්වාසයන් අනුව නොවන බවයි. තවද, කවර හෝ කාලපරිච්ඡේදයකට අයත් නිෂ්පාදනයන් ඒවායෙහි පෞද්ගලිකව පවත්නා විවිධතා අනුව නොව ඒ සියලු දෙයට පොදු වන්නා වූ දැයින් සංලක්ෂිත කැරෙයි.
139 පිටුව


වර්තමානයේ සිංහල සාහිත්‍ය විචාරයත්, සමස්ත කලා විචාරයන් පෙළන බිහිසුණු ව්‍යාධියක් වන්නේ කලා රසාස්වාදනය යටින් දිවෙන න්‍යායික ධර්මතා ගැන සාකච්ඡා නොකරමින් ඒ ඒ අය කෘත්‍රිම ලෙස වන පොත් කරගන්නා ලද න්‍යාය කැබලිති ඔස්සේ කෘතිය දෙස බැලීමයි. මෙයට හාත්පසින්ම විරුද්ධ න්‍යායික අභ්‍යාසයක් කුමාරස්වාමිගේ කෘති තුළ දැකිය හැකි අතර යථෝක්ත උපුටනය ඒ සඳහා කදිම උදාහරණයකි. පෙරදිග මෙන්ම අපරදිග භාෂා ගණනාවක් ඔස්සේ කලා විචාර කතිකාවට පිවිසුණද තම තේමාව පිළිබඳ ශාස්ත්‍රීය ශික්ෂණයෙන් යුක්තව ලිවීමේ මනා ශික්ෂණය මෙහිදී කැපී පෙනෙයි. මේ අනුව කුමාරස්වාමිගේ එක් විශිෂ්ටත්වයක් වන්නේ මහා දැනුමට නොව එම දැනුම ඖචිත්‍යය ගුණයෙන් යුක්තව අදාළ ශාස්ත්‍රීය සන්දර්භය තුළ ස්ථානගත කිරීමයි. මෙය පර්යේෂණ ක්‍රමවේදයේ ඇසින් බැලුවහොත් අතිශයින්ම වැදගත් නව කතිකාවක් නිර්මාණය කරන තත්ත්වයකි.

විල්හේලම් හේගල්

ලාංකීය වාම දේශපාලනයෙන් මෙරට බුද්ධිමය කතිකාවට සිදුවූ මහත් විපතක් වූයේ මාක්ස්-එංගල්ස් හැර සෙසු විශිෂ්ට චින්තකයන් රැසක්ම අවතක්සේරුවට හා අනවධානයට ලක්වීමයි. මේ අතරින් විශිෂ්ටතමයකු වන්නේ හේගල්ය. මාක්ස් විසින් හේගල් ඔළුවෙන් සිටවූයේය යන සුප්‍රකට උදාහරණයෙන් පසු සිංහල තරුණයාට හේගල් මගහැරී ගියමුත් ඇත්ත වශයෙන්ම සෞන්දර්යවේදය පැත්තෙන් ගත් කල හේගල් විශිෂ්ට දාර්ශනික මැදිහත්කරුවෙකි.
ආනන්ද අමරසිරි මෙම කෘතියේදී හේගල්ගේ ලිපි කීපයක් සිංහලට පරිවර්තනය කරයි. ඒවා නම්,

1.අර්ථ නිරූපිත සෞන්දර්ය විෂය පරාසය හා කලාවේ දර්ශනවාදයට එරෙහි විරෝධතා අඛණ්ඩනය.

2. සුන්දරත්වයට හා කලාවට යොදා ගත හැකි විද්‍යාත්මක ක්‍රමවේද.

3. කලාත්මක සුන්දරත්වය පිළිබඳ සංකල්පය.

හේගල් මෙසේ කියයි.


“කලාත්මක සුන්දරත්වය ස්වභාව ධර්මයට වඩා ඉතා ඉහළින් පවතින්නේය යන්න ස්ථිර වශයෙන් ප්‍රකාශ කරමින් වහාම අපට මේ කතාබහ ඇරඹිය හැකිය. කුමක් හෙයින්ද යත්, කලාවේ සුන්දරත්වය මනසින්ම ජනිත වන්නා වූ සුන්දරත්වයක් – නැවත නැවත මනසින්ම ජනිත වන්නක් වන බැවිනි.”
පිට 170 හා 171


මනසට ප්‍රමුඛත්වය දීම විඤ්ඤාණවාදයට දා භෞතිකවාදයට පැනීමෙන් රැඩිකල් වීම පහසුය. එහෙත් හේගල්ගේ ඉහත ප්‍රකාශය අර්ථ ගන්වා ගැනීම ඊට වඩා අසීරු වෑයමකි. කලාත්මක සුන්දරත්වයේ පරමතාව යනු හුදු එක් නිමේෂයක් නොව වරින් චින්තනමය ලෝකය තුළ ගොඩනැගෙන හා ගොඩනැගිය හැකි අඛණ්ඩ ක්‍රියාවලියක් බවයි හේගල් මෙහිදී පවසන්නේ. සොබා දහමට ඉහළින් තිබෙන කලාත්මක සුන්දරත්වයේ පරම රූපය මිනිසාගේ නිෂ්පාදනයක් වන අතර එය කිසිසේත්ම තාවකාලික දෙයක් බවට පත්වන්නේ නොමැත.


හේගල් දෙවියන් ආත්මය, සත්‍යය ලෙස දකින්නේ කුමක්ද? ඔහුගේ අර්ථකථනවල ස්වභාවය කවරාකාරද? ඔහු ඒවා සෞන්දර්ය විනිශ්චය සඳහා සම්බන්ධ කරන්නේ කෙසේද? යනාදී වටිනා ප්‍රශ්න ගණනාවකට පිළිතුරු සපයා ගත හැකි සාකච්ඡාවක් මෙම ලිපි තුනෙහි අන්තර්ගතය ඔස්සේ ගොඩ නගා ගත හැකිය. හේගල්ගේ සෞන්දර්ය විද්‍යාව මීට පෙර සුචරිත ගම්ලත් වැනි උගතුන්ගේ අවධානයට ලක්වී ඇතත්, නිරවුල් ලෙස ඔහුගේ ලිපි සිංහලට පරිවර්තනය වී ඇති අවස්ථා අතිශයින්ම විරලය. ඒ නිසාම මෙම පරිවර්තනය අතිශයින්ම වැදගත් වන අතර සිංහල පාඨකයාගේ දැනුම හා ආකල්ප පුළුල් කළ හැකි විශ්ව සම්භාවය ඥාන සම්භාරයකින් සමන්විත වේ.


හේගල්, ආනන්ද කුමාරස්වාමි වැනි චින්තකයන්ගේ ලිපි කියවන සිංහල පාඨකයන් පිරිසක් අතළොස්සක් හෝ පාඨක පිරිසක් නිර්මාණය වූයේ නම් වර්තමානයේ පවතින පටු හා අතිශය නොගැඹුරු උපයෝගිතා කලා විචාරය යටපත්වෙමින් ගැඹුරු ලෙස සිතීමේ හැකියාව සහිත පුද්ගලයන් බිහිවනු ඇත. ඒ සඳහා මෙම පරිවර්තනවලින් ලබා දෙන්නේ ප්‍රබල ආලෝකයකි.

සමාලෝචනය

ආනන්ද කුමාරස්වාමිගේ දර්ශනය හා සමාජ, සංස්කෘතික භාවිතය මෙරට සමාජය තුළ මුල් නොඇද්දේ එක්තරා අන්දමක පටු දේශීය චින්තනයක් නිසා බව කිව හැකිය. ඨාගෝර් ගැන මෙන්ම බොහෝ දෙනා කුමාරස්වාමි පිළිබඳවද සිතුවේ ව්‍යාජ දේශීය පඬිවරයකු ලෙස බව පෙනේ. කුමාරස්වාමි පළ කළ ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලබාදිය යුතුය වැනි අදහස් අති සරලව හා අදාළ සන්දර්භයෙන් ගලවා ජනප්‍රිය කළ මෙම පිරිස මේ චරිතවල විශ්වීය ඥානය මෙන්ම දේශීය ඥානයද එකිනෙක පටලවා ගනිමින් කටයුතු කළෝය.


පරිවර්තක ආනන්ද අමරසිරි මෙම අර්බුදයේ එක් පැතිකඩක් විනිවිදව දුටු ආකාරය මෙම පොතට සැපයූ ‘පෙරවදනෙන්’ පෙනී යයි. පිටු 08ක් පුරා දිවයන එම පෙරවදන පොත තරම්ම වැදගත්ය. විචක්ෂණ අන්තර් දෘෂ්ටීන්ගෙන් යුක්තය. විශේෂයෙන්ම විසිවන සියවසේ මුල් දශකවල ලංකාවේ සමාජ, සංස්කෘතික ජීවිතය පිළිබඳ මෙතෙක් සිංහල මාධ්‍යයෙන් බෙහෙවින් අඩුවෙන් සාකච්ඡා කෙරුණු ඇතැම් කරුණු මෙහිදී අමරසිරිගේ අවධානයට ලක්වෙයි.


අයිවර් ජෙනිංස්ගේ සුප්‍රකට සංස්කෘතික කාන්තාරය පිළිබඳ සාකච්ඡාව ගැන කියමින් අරඹන එම පෙරවදන ඨාගෝර්ගේ ලංකා ගමනේ සිට ගුණදාස අමරසේකරගේ නොසෙවුණා කැඩපත කෘතිය විසින් මතු කරන කතිකාව දක්වා විහිදෙයි. එසේම මෙරට ජාතිවාදී අන්තවාදීන් මෙන්ම ව්‍යාජ ජාත්‍යන්තරවාදීන්ද සඟවා තිබූ සංස්කෘතික ඉතිහාසය පිළිබඳ කතිකාව ඉස්මත්තට ගෙන ඒමට ප්‍රබල උත්සාහයක නිරත වෙයි. ඔහු මෙසේ පවසයි.


“නිදහස් අරගලයේ වැදගත්කම ඉස්මතු වී තිබුණු යුගයකදී බටහිර සම්ප්‍රදායට අනුගත වූවන් හැඳින්වූයේ ‘කළු සුද්දන්’ වශයෙනි. ටාසි විට්ටච්චි ‘බූවන් සහීවේ’ යන වදනින් අදහස් කළේ ඉංග්‍රීසි සම්ප්‍රදායට අනුගත වූවන්ය. තුප්පහියා සංකරයා, කොම්ප්‍රදෝරුවා වැනි පරිහාසාත්මක වදන්වලින්ද අදහස් කෙරුණේ මෙම පිරිසමය. සමකාලීන දෘෂ්ටි කෝණයෙන් බලන කල එහි යම් සත්‍යයක් ගැබ් වුවද කලා ක්ෂේත්‍රයට අදාළ බ්‍රවුන් සහීබ් ලාගෙන් සිදුවූ සේවය අවතක්සේරු කළ නොහැකිය.

පෙරවදන

යථෝක්ත අදහස්වලින් පෙනීයන්නේ මෙරට බුද්ධිමය ක්ෂේත්‍රයේ නිලබලකරුවන්ව සිටින බොහෝ ජනප්‍රිය චරිතවලට වඩා ආනන්ද අමරසිරි ව්‍යක්ත හා නිර්භය බුද්ධිමය සංවාදයකට දක්වන ළැදියාව හා කැපවීමයි. එය මෙරට තරුණ ශාස්ත්‍රවන්තයන් හා කලා ළැදියන් විසින් නිශ්චිතවම තම අවධානය යොමු කළ යුතු කාරණයකි.


එසේම, මෙබඳු පොත් මෙරට සරසවි පද්ධතියේ විෂය මාලාවලට හැකි ඉක්මනින් නිර්දේශ කරමින් තරුණ පිරිස් වෙත මෙබඳු උසස් සාකච්ඡා රැගෙන යාම පිළිබඳ දැඩි වගකීමක් මෙරට සරසවි පද්ධතිය නියෝජනය කරන ශාස්ත්‍රඥයන්ට ඇතැයි මම ප්‍රබල ලෙස විශ්වාස කරමි. එය පමා නොවී සිදුවිය යුතු අත්‍යවශ්‍ය කටයුත්තකි.


උසස් පරිවර්තන කොපමණ බිහි වුවත් ඒවා පාසලට හා සරසවියට ගමන් නොකරන්නේ නම් පළක් නොමැත. මන්දයත් නව ඥානය ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුත්තේ පන්ති කාමරවල පවතින සංවාද තුළ බැවිනි. ආනන්ද කුමාරස්වාමි හේගල් පමණක් නොව තවත් එම ගනයේ බොහෝ දෙනාගේ ලිපි ලේඛන සිංහලට පරිවර්තනය විය යුතුව පවතින නමුත් එම දුෂ්කර ඉලක්ක සපුරා ගන්නා තෙක් මෙම පරිවර්තන අධ්‍යාපන ක්‍රියාවලියට යොදාගත යුතුමය.

©චින්තක රණසිංහ ( February 7, 2020 රාවය පුවත්පතේ පළවූ ලිපියකි)

Recommended For You

About the Author: Editor(A)