කොරෝනා චීනයේ ආර්ථිකය පමණක් නොව, පරිසර දූෂණය ද පහළ දමයි…!

චීනයේ පරිසර දූෂණ මට්ටමේ විශාල අඩුවීමක් පෙන්නුම් කරන බව නාසා ආයතනය ලබා ගත් චන්ද්‍රිකා ඡායාරූපවල සටහන් වී තිබේ. මෙයට “අර්ධ වශයෙන් හෝ” හේතු වී ඇත්තේ කොරෝනාවෛරසයේ බලපෑමෙන් ඇති වූ ආර්ථික පසුබෑම බව එම ආයතනය පවසයි.

මෙම වසර තුළ නයිට්‍රජන් ඩයොක්සයිඩ් මට්ටම පහත වැටී ඇති ආකාරය නාසා සිතියම් මගින් පෙන්නුම් කෙරේ.

කොරෝනාවෛරසය පැතිරීමත් සමග නිෂ්පාදන කටයුතු නතර කිරීම නිසා චීනයේ කර්මාන්ත ශාලාවල ක්‍රියාකාරකම් වාර්තාගත ලෙස පහත වැටීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

වෛරසය පැතිරීම ආරම්භ වූ දින සිට මේ දක්වා 80,000කට ආසන්න ආසාදිතයන් සංඛ්‍යාවක් චීනයෙන් වාර්තා වී ඇත.

මෙය රටවල් 50 කට වැඩි සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇති නමුත් ආසාදන හා මරණවලින් බහුතරයක් වාර්තා වන්නේ, පසුගිය වසරේ අග භාගයේ වෛරසය ප්‍රථමයෙන් මතු වූ චීනය තුළය.

මෝටර් රථ හා කාර්මාන්ත ශාලා මගින් විමෝචනය වන හානිකර වායුවක් වන නයිට්‍රජන් ඩයොක්සයිඩ් මට්ටම අවම වීම ප්‍රථමයෙන් නිරීක්ෂණය වූයේ, වෛරසය පැතිරීම ආරම්භ වුණු වූහාන් නගරයෙන් වන අතර පසුව එය රට පුරා දැකගත හැකි වූ බව නාසා විද්‍යාඥයෝ පවසති.

2019 වසරේ මුල් මාස දෙක සහ මෙම වසරේ එම කාල පරිච්ඡේදය සසඳා බැලීමට නාසා ආයතනය ක්‍රියා කර ඇත.

ප්‍රවාහන සහ ව්‍යාපාරික කටයුතු සඳහා පනවා ඇති සීමා සහ මිලියන සංඛ්‍යාත ජනතාවක් නිරෝධායනය කරා යොමු කිරීමත් යන හේතු මත වායු දූෂණ මට්ටම පහත වැටී ඇතැයි අභ්‍යවකාශ ආයතනය සඳහන් කරයි.

“විශේෂිත සිදුවීමක් හේතුකොටගෙන පුළුල් ප්‍රදේශයක් පුරා විශාල ලෙස පහත වැටීමක් මා දුටු පළමු අවස්ථාව මෙයයි,” යනුවෙන් නාසාහි ගොඩාඩ් අභ්‍යවකාශ පියාසර මධ්‍යස්ථානයේ වායු ගුණාත්මක පර්යේෂක ෆී ලියු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියාය.

2008 වර්ෂයේ ආර්ථික අවපාතය සිදු වූ කාල වකවානුවේදී නයිට්‍රජන් ඩයොක්සයිඩ් මට්ටම පහත වැටීමක් නිරීක්ෂණය වූ නමුත් එය ක්‍රමයෙන් සිදු වූ බව ඇය පැවසුවාය.

ජනවාරි අග සහ පෙබරවාරි මුල චීනයේ අලුත් අවුරුදු සැමරුම් කාලය තුළ සාමාන්‍යයෙන් පරිසර දූෂණ මට්ටමේ අඩු වීමක් දක්නට හැකි යැයි නාසා ආයතනය නිරීක්ෂණය කර තිබේ. නමුත් උත්සව සමය අවසන් වූ පසු එය වැඩි වන බව එම ආයතනය පැවසීය.

“පසුගිය වසරවලට වඩා මෙම වසරේදී අඩු වීමේ අනුපාතය සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වී ඇති අතර එය දිගු කාලයක් පවතිනවා,” ෆී ලියු පැවසුවාය.

“රට පුරා බොහෝ නගර වෛරසය පැතිරීම අවම කිරීමට පියවර ගෙන ඇති නිසා මම මේ ගැන පුදුම වෙන්නේ නැහැ.”

#උපුටාගැනීම- බීබීසී සිංහල

Recommended For You

About the Author: Editor(A)