ආඛ්‍යානයේ අඳුරෙන් කළුවර වුණු “වර්ණ යාග”

කේ.ඩී.දර්ශන

අනුර පෙරනගමගේ විසින් නිර්මාණය කළ වර්ණ යාග වේදිකා රංගයේ මංගල දැක්ම පසුගිය 06 වන දා මරදාන ටවර් රඟහලේ දී රඟදැක්විණි. පර්යේෂණාත්මක නාට්‍යයක් වශයෙන් හැඳින්වෙන වර්ණ යාග නාට්‍යමය පාර්ශ්වයෙන් මෙන් ම දෘෂ්ටිවාදී පාර්ශ්වයෙන් ද සාර්ථක ප්‍ර‍ත්නයක් නොවන බව අපගේ හැඟීමයි.

නාට්‍යයේ සාර සංක්ෂේපයක් ඇරයුම්පතේ මෙසේ සඳහන් වෙයි.

පෙරදිග නාට්‍ය කලාවේ බීජයන් හා මුසුව අදත් වලංගුව පවතින යාතු කර්ම, ශාන්තිකර්ම ආදීන්ගේ සෞන්දර්යමය ලක්ෂණයන්ගේ රසය මුසු කර ගත් මෙම නාට්‍යමය ප්‍ර‍ත්නයේ දී පිරිමියෙකුට තම පෞරුෂය යටපත් කරගෙන ස්ත්‍රී චරිතයකට නොව ස්ත්‍රී ආත්මයකට පිවිසිය හැකිද යන්න විමසුමට බුන් කරයි. එසේ හැකි නම් එහිදී කුටුම්බය යන්න කෙසේ ස්ථාපිත වෙයි ද? ….

නිෂ්පාදකයාගේ පර්යේෂණ කාර්යයට අභියෝග කිරීම හෝ එය විවේචනයට ලක් කිරීම අපට අයිති කාර්යයක් නොවනමුත්, එකී පර්යේෂණාත්මක නාට්‍යයෙන් මැවෙන ප්‍රේක්ෂාව පිළිබඳ විවේචනය එල්ල කිරීමේ අයිතියක් ඇත්තේය.

මෙහි රචකයා මංජු ශ්‍රී කාරියවසම් නැමැත්තෙකි. අදියුරු අනුර පෙරනගමගේය. ජගත් චමිලගේ විශිෂ්ඨ රංග පෞරුෂය ගැන කිසිදු විවේචනයක් නොමැත. කිත්මිණි හේමචන්ද්‍ර‍, හසිනිකා කරලියැද්ද දක්ෂ ලෙස තම චරිතවලට පණ පෙවූහ. ගුරුන්නාන්සේගේ චරිතය රඟ පෑ ජයලාල් රෝහණට නම් එහි රඟපාන්නට තරම් දෙයක් නොවූයෙන්, ඔහුගේ ප්‍ර‍තිභාව මතු කරන්නට වර්ණ යාග අසමත් විය. රංගනයෙන් වික්‍ර‍ම පෑමට අවස්ථා නොවූවා යනු ඔහුගේ රංගනය දුර්වලයැයි පැවසීම නොවන බව ද සිහි කළ යුතුය.

මෙය පර්යේෂණාත්මක ආඛ්‍යානයක් වන්නේ නූතන ලෝකයට ද නොඑසේ නම් සියවස් ගණනකට පෙරදැයි සිතෙන තරමට පිළිණුව ගිය අදහස් ගොන්නක් නැවුම් ඒවා සේ ගෙනෙන්නට නාට්‍යකරුවා උත්සහා ගත්ත ද, ඉන් ඕලාරික ප්‍රේක්ෂාවකට එහා යාමක් නොමැවිණි. මනුෂ්‍යත්වය, ලිංගිකත්වය පිළිබඳ යල්පිනූ වික්ටෝරියානු අදහස් ගොන්නක් පර්යේෂණ ලෙස රංගයට ගෙන ඒම ගැන අපට නම් පුදුමත් සිතේ.

මේ කරුණු සනාථ කිරීම සඳහා සමරු කෘතියේ නාට්‍යකරුවා කරන සඳහනින්ම උපුටා ගැනීම මැනවි.  “රටක රජයන විඥ්ඥානය වනාහී පාලක පංතියේ විඥානයයි” යන මාක්ස්ගේ කියුමෙන් දේශපාලන විවේචනයක් කරගෙන ම සටහන අරඹන නාට්‍යකරුවා පසුව මෙසේ කියයි.

“…මෙම විකෘති තත්වය අද ලෝකයේ බොහෝ රටවල වෛරස තත්වයට පත් වෙමින් තිබෙනු රහසක් නොවේ. සමරිසි විවාහයන් එහි කූඨප්‍රාප්තියකි. සමහර රටවල එය නීත්‍යානුකූල බවට පත් කර ඇත.”

ඔහු තව ලියයි.

“සමරිසි සම්භෝග සංස්කෘතියක් ස්ථාපිත වන්නේ නම් එය සොබා දහමට පටහැනි වෙයි.”

ජීවීන් කෙරෙහි සොබා දහම පවරන ප්‍ර‍ධාන කාර්යභාරය වර්ගයා බිහි කිරීම බව සැබවි. එය සෑම සතෙකුට ම පොදු වුව ද අනෙක් සියලු සතුන්ගෙන් වෙනස් වන මිනිසාගේ ලිංගිකත්වය වර්ගයා බෝ කිරීමේ හුදු අරමුණට පමණක් සීමා නොවන්නේය. මිනිසා අන් සතුන්ගෙන් පැහැදිලිව වෙනස් වන්නේ සංස්කෘතිය නිසාය. එහි අග්‍ර‍ ඵලය භාෂාවයි. මිනිසා ජීවියෙක් ලෙස ලෝකයට පා තැබූ දා පටන් භාෂා ලෝකයට නොහොත් සංස්කෘතික ලෝකයට පිවිසෙයි. මෙය සංකේතීය ලෝකයක් මිස පරම සැබෑ ලෝකය නොවේ. තව දුරටත් පැහැදිලි කළහොත් මව්කුසින් එළියට එන දරුවා ලෝකය දකින්නට පටන් ගන්නේ සම්මුතිගත භාෂාවකි ඔස්සේය. එනම් දරුවා ලෝකය සංජානනය කරගන්නේ භාෂාව මූලික කර ගනිමිනි. එහෙයින් එම ලෝකය සංකේතීය වූවකි. මේ තතු උඩ කිසිසේත් ම මනුෂ්‍යයාගේ පැවැත්ම සපුරා සොබා දහමට භාර කළ හැකිද? “විරුද්ධ ලිංගික සේවනය සොබාදහම නම්, සමලිංගික සේවනය සොබාදහම විකෘති කිරීමකි.” නාට්‍යකරුවාගේ මෙම මතයට විරෝධය නොපා අපි මෙසේ කියමු. එසේ නම් ඒකභාර්යා වෘතය සහිත න්‍යෂ්ටික පවුල ද සොබාදහමට පටහැනිය. වර්ගයා බෝ කිරීමේ අරමුණින් තොරව මිනිසා ලබා ගන්නා සකල ලිංගික තෘප්තීන් සොබාදහමට පටහැනිය. කොටින් ම භාෂාව ද සොබාදහමේ නිපැයුමක් නොවේ.

“එසේ නම් වත්මන් මානව ප්‍ර‍ජාවේ සමහරු සොබාදහම විසින් දෙන ලද විධානයන්ගෙන් ඉවත්ව නුහුරු හෝ නොනිසි හෝ විකෘති තත්වයන්ට ආශීර්වාද කරන්නේ නම් ඉට හේතු කාරණා කිම?”

අධ්‍යක්ෂවරයාගේ මේ දැක්ම ඒකභාර්යා පතිවෘත්තයේ පූජනීයත්වය පිළිබඳ මුලාවේ ඇලී ගැලී තිබෙන්නක් ද යන්න විමසීමට තරම් කරුණු නැතත්, ඔහු ගොඩනගන වික්ටෝරියානු ප්‍ර‍වාදයට පිළිතුරක් වශයෙන් ෆෙඩ්රික් එංගල්ස් පවුල පෞද්ගලික දේපොළ හා රජය ඇති වූ සැටි කෘතියේ කරන සඳහනක් ගෙනහැර දක්වමු.

“සියලු සුචරිතයන්ගේ මුදුන් මල්කඩ ඒක භාර්යා සේවනය නම්, සුචරිතවාදයේ ඔටුන්න හිමි වනුයේ පුරුක් පනහේ සිට දෙසියයක් දක්වා ඇති, ඒ හැම පුරුකකම ස්ත්‍රී ලිංගය හා පුරුෂ ලිංගය බැගින් යුත් පටි පණුවාටය. ඌ මුළු ජීවිත කාලයේදීම මේ හැම පුරුකක් තුළින් සංසර්ගයේ යෙදෙයි.”

නූතන සමාජ විද්‍යාවේ ස්ත්‍රී-පුරුෂ වෙනස පිළිබඳ අදහස ගැන යමක් මෙහි සඳහන් කළ යුතුය. ලිංගිකත්වය හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය එකක් නොව දෙකක් වශයෙන් නූතනයේ හඳුනා ගැනේ. (ලිංගිකත්වය = Sexuality / ස්ත්‍රී-පුරුෂ සමාජභාවය= Gender) ලිංගිකත්වය සොබාදහමේ දායාදක් වන අතර ස්ත්‍රී-පුරුෂ සමාජභාවය කථිකාමය නිර්මිතයකි. “ස්ත්‍රිය නොපවතී” යන ලැකානියානු නිර්වචනය මගින් කියන්නේ ද මෙයයි. ස්ත්‍රිය නමැති නාමකරණය වනාහී පුරුෂ මූලික, සංකල්පීය වූවක් වන අතර ස්ත්‍රිය යන්නෙන් ඒ ජීවියාගේ සැබෑ සාරය නිරූපණය නොවේ. ඒ වෙනුවට ආරෝපණය කළ සාරයක් නිරූපණය වේ. වර්ණ යාග නාට්‍යයේ වේදිකාවට පැමිණෙන සොකරි යනු ස්ත්‍රී චරිතයකි. එය ගැමි නාටකවල පිරිමින් විසින් රඟ දැක්වූවා සේ ම මෙහි ද ජැකී(ජගත් චමිල) නමැති පුරුෂ චරිතය විසින් රඟ දක්වයි. පුරුෂයෙකු රඟ දැක්වුව ද මේ හැඟවුම ස්ත්‍රී චරිතයක් බව කුඩා ළමයෙකු වුව වටහා ගනියි. සොකරි හැඳ සිටින සාරිය/ඔසරිය, හැට්ටය, පළඳනා, විලාසය මේ සියල්ල විසින් ස්ත්‍රී හැඟවුමක් ප්‍රේක්ෂකයා වෙත ගෙන එයි. එසේ නම් ස්ත්‍රිය යනු මෙසේ ආරෝපණය කළ සියල්ලේ අර්ථය ද?  

අශෝක හඳගමගේ තනි තටුවෙන් පියාඹන්න සිනමාපටය මීට පිළිතුරක් ලබා දෙයි. එහි ප්‍ර‍ධාන චරිතයට පණ පොවන්නේ අනෝමා ජනාදරීය. ඇය පණපොවන චරිතය පුරුෂ චරිතයක් වන අතර චිත්‍ර‍ටය අවසානයේ හෙළිදරව් වන තෙක් ම ඇයට ස්ත්‍රී ලිංගයක් තිබෙන බව කිසිවෙක් දන්නේ නැත(චිත්‍ර‍ටය තුළ). ලාංකේය ප්‍රේක්ෂාගාරය වෙත හඳගම ගෙන එන මේ පෙරළිකාරී අදහස ඒ මොහොතේ දැඩි ආන්දෝලනාත්මක අදහසක් විය. වර්ණ යාග අධ්‍යක්ෂවරයාගේ මේ අදහස ඵල දරන විට එය රට තුළ මැජික් ගතිය හැර කියවීම් අවධි ගණනාවක් ද පසු කොට ඇත්තේය. තනි තටුවෙන් ගැන දේශපාලන විචාරක දීප්ති කුමාර ගුණරත්නගේ අදහසක් පහත උපුටා දැක්වේ. (වැඩි දුර කියවීම සඳහා සම්පූර්ණ ලිපියේ යොමුව ද පහළින් දැක්වෙයි.)

“ ‘තනි තටුව’ චිත්‍රපටය විසින් ලිංගික වෙනසේ (ස්ත්‍රී-පුරුෂ භේදය) ප්‍රබන්ධ මානය (Fictional Nature) තහවුරු කරන ලදී. ශ්‍රී ලාංකිකයන් බහුතරය ලිංගික වෙනස හෝ ලිංගික සංස්කෘතිය ස්වභාවික එකක් ලෙස පිළිගනිති. නමුත් එම ගතානුගතික අදහස වෙනුවට චිත්‍රපටය යෝජනා කරන්නේ ලිංගය යනු කායික විද්‍යාව හෝ දෛවය නොවන බවයි. ලිංගික දේවල්වලට ලාංකේය ඉතිහාසය තුළ එතෙක් පැවති සොබාවික අදහස චිත්‍රපටය නිසා විසංයෝජනය විය..”

_________ _______ _______

සමලිංගික සේවනයේ වරදක් ඇතැයි යන්න වර්ණ යාග නාට්‍යයෙන් පිළිබිඹු නොවේ. වරදක් නැතැයි යන්න ද පිළිබිඹු නොවේ. සැබැවින් ම ඉන් මේ කිසිවක් සංයුක්තව නිරූපණය වන්නේ නැත. අසංයුක්ත දෑ කීමෙහන් ඇරිස්ටෝටලියානු සුසාධිත නාට්‍ය ව්‍යුහය ඛණ්ඩනය නොවනවා සේ ම ඒ දේවල් තුළින් ව්‍යාජ පශ්චාත් නූතන රංගයක් මැවීම ද කළ නොහැක්කේය.

සමරු කලාපයේ ආචාර්ය ජයලාල් රෝහණ පවසා ඇති ආකාරයට වර්ණ යාග සම්මත මුල, මැද, අග සහිත සුසාධිත වර්ගයේ නාට්‍යයක් නොවේ. එය සැබෑය. එහෙත් පෙර කී පරිදි ද මෙහි ආඛ්‍යානය අසංවිධිත හා අපැහැදිලි, තව සුමට විය යුතුය. ඇරිස්ටෝටලියානු සුසාධිත ව්‍යුහයේ නාට්‍යයක් නොවූ පමණන් නාට්‍යයක අර්ථ විසිරෙන්නේ නැත. විසිරෙන්නේ ආකෘතියයි. බ්‍රේෂ්ට්ගේ නාට්‍ය කොතරම් අර්ථවත් ද? දේශපාලනික ද? පර්යේෂණාත්මක ද? එය ඇරිස්ටෝටලියානු සුසාධිත රංගය එළවා දැමූ රංගාකෘතියකට හිමිකම් කියයි. වර්ණ යාග ආකෘතිය අතින් සුසාධිත නොවන්නා සේ ම අර්ථ පක්ෂය අතින් ද විසිරී පවතී. එය කිසිවිටෙක බිංදු මාත්‍ර‍ක් හෝ අංශුවක් නොපෙන්වයි. ඒ වෙනුවට සුමට කර නොගත් අපැහැදිලි දෑ ගෙනෙයි. කොටින් ම නාට්‍යකරුවා ඇරයුම්පතේ හෝ සමරු කලාපයේ තබන අදහසට ළඟා වීමක් සිදු නොවෙයි.

එහෙත් මෙම ආඛ්‍යානය දියුණු කිරීමෙන් අපූරු රංගයක් මැවීමේ විභවය ඇත. දේශපාලන, සමාජීය, හාස්‍ය පිරුණු නාට්‍යයක් ලෙස සැකසීමේ විභවයක් ඇත. එසේ ම ඊට සාපේක්ෂව නාට්‍යය තුළ වන ප්‍ර‍තිගාමී, යල්පිනූ දෘෂ්ටිවාදයන් ඉවත් කිරීම හෝ ඊට නිර්මාණාත්මක රැකවරණයක් ලබා දීම කළ යුතුය. නොඑසේ නම් වර්ණ යාග කෙරෙහි යොදන වෙර අපතේ යනු ඇත.

සමාලෝචනය

මෙය වර්ණ යාග නාට්‍යය පිළිබඳ සාහිත්‍යාත්මක විචාරයක් හෝ දේශපාලන විචාරයක් නොවේ. කොටින් ම මෙය සංවිධිත විචාරයක් නොවේ. අදහස් දැක්වීමක් පමණි. එහි සාරය කැටිකොට පහත දැක්වේ.

  •  මානව සංස්කෘතිය ගොඩනැගෙන්නේ ම සොබා දහමට එදිරිව යාමෙනි.
  •  රංගනය අතින් නාට්‍යය සාපේක්ෂ සාර්ථකත්වයක් අත් කර ගෙන තිබුණි.
  •  නාට්‍යයේ ආඛ්‍යානය පර්යේෂණාත්මක ගමනකට මග අහුරාලයි.

කේ.ඩී.දර්ශන

Recommended For You

About the Author: Editor(A)