පුංචි එරීනාවට මල් මිටක්….

කේ.ඩී. දර්ශන 

අඛිල සපුමල්ගේ බැකී නාට්‍ය නිෂ්පාදනය පිළිබඳ කෙටි අදහස් දැක්වීමක්

පෙබරවාරි 13,14 දෙදින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී නාට්‍යවේදී අඛිල සපුමල්ගේ බැකී හා හිපොලිටස් යන පරිවර්තන නාට්‍ය ද්වය රංගගත කෙරුණා. ඒ සුපුරුදු ප්‍රොසීනියම් රගහල තුළ නොව, පුංචි ඇරීනාව නමින් අධ්‍යක්ෂවරයාගේ ම අත්හදා බැලීමක් වන එළිමහන් රංගයකය. එම රංගය පිළිබඳවත්, මා විසින් නරඹන්නට යෙදුණු බැකී නාට්‍යය පිළිබඳවත් කිසියම් අදහස් දැක්වීමක් සිදු කිරීම මෙහි අරමුණයි.

පුංචි එරීනාව

පුංචි එරීනාව පේ‍්‍රක්ෂකයාට නව අත්දැකීමක් එකතු කළ රංගයක්. එරීනා යනු සම්භාව්‍ය ග‍්‍රීක රඟ මඬලේ ආකෘතියයි. ඊට තරමක සමාන අත්දැකීමක් ලංකාවේ විඳින්නේ නම් ඒ පේරාදෙණිය වළ රංග භූමියේදීයි. එහෙත් පහළොස්දාහක පමණ හිස්ගෙඩිවලින් යුතු දැවැන්ත ග‍්‍රීක රගමඩලේ අත්දැකීම ම නොවන බව අප දත යුතුයි. පේරාදෙණිය වළේ සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ සිට අඛිල සපුමල්ගේ හිනාවෙලා මිනිත්තුවක් වෙන තෙක් රඟ දැක්වුණු විවිධ ශෛලීන්ගේ නාට්‍යයන් නැරඹූ පේ‍්‍රක්ෂකයන්ගේ අත්දැකීමට සමාන අත්දැකීමක් නාඩාහි පුංචි ඇරීනාවේ දී හමුවෙනවා කිවහොත්  එය සියයට සියයක් ඇත්ත නොවේ. පේරාදෙණි වලට සමාන ආකෘතියක් වුව ද එහි පේ‍්‍රක්ෂාව ඊට හාත්පසින් ම වෙනස්. එනම් එය බ්ලැක්බොක්ස් ගණයේ රංග භූමියකට සමාන වීමයි. තවත් ආකාරයකින් කිවහොත් එය මිනි තියටර් වර්ගයේ රංග භූමියක්. යුරෝපයේ ප්‍රචලිත කොෆි තියටර් රංගයට සමාන ඉඩ කඩකින් යුතු රංග භූමියක්. ප්‍රේක්ෂකයන් 100 – 150 ත් අතර ප්‍රමාණයකට නැරඹිය හැකි මෙම පුංචි ඇරීනාව නළු නිළියන් සමීපයේ අසුන් ගනිමින් ඔවුන්ගේ හුස්ම වැටෙන මානයේ සිට නාට්‍ය රස විඳිය හැකි ආකෘතියක්.

එරීනාවේ රංග අවකාශය හා ප්‍රේක්ෂාව ප්‍රොසීනියම් වේදිකාවට වඩා අපට සමීපයි. ජන රංග සම්ප්‍රදාය තුළ අප බලා සිටියේ පින්තූර රාමුවක් දෙස නොව වක්‍රාකාර රංගයක් දෙස. සොකරි කමතේ රඟ දැක්වුුුුණා. කෝලම් තානායම්පොළ නමැති අර්ධ වක්‍රාකාර රංග භූමියක. ශාන්තිකර්ම නරඹන්නේ ද වටේට සිට. එහෙයින් සියවස් ගණනක සිට එන ලාංකේය රංග සම්ප්‍රදායට එරීනාව නෑකම් කියනවා.

එරීනා රඟහලේ පරමාදර්ශය අර්ධ කවාකාර රංග භුමියයි. දහස් ගණනක ප්‍රේක්ෂකයා  අර්ධ කවාකාරව නාට්‍ය නැරඹූ විශ්මිත මහා එරීනාවේ හැඩය පුංචි එරීනාව ගෙන තිබුණ ද ඊට බොහෝ වෙනස් ලක්ෂණ ගණනාවක් මෙහි දකින්න පුළුවන්. ග්‍රීක එරීනාවේ ප්‍රේක්ෂකයා හා රංගය අතර විශාල දුරස්ථ බවක් තියනවා. එහෙයින් පුංචි එරීනාව එසේත් නැත්නම් black box ආකෘතිය ප්‍රේක්ෂකයා හා නළුවා අතර කිට්ටු සම්බන්ධතාවයක් ඉල්ලා සිටිනවා. කමතේ සොකරි බලන ගමන් පාත්‍රයන් ප්‍රේක්ෂකයා හා සම්බන්ධ වන්නේ කෙසේද , ශාන්තිකර්ම අතරතුර නටන යකුන් යකුන් ප්‍රේක්ෂකයා හා සමීප කතා බහේ යෙදෙන්නේ කෙසේ ද පුංචි එරීනාවට  ඒ හැකියාව තිබෙනවා. (අඛිල සපුමල්ගේ විකාර ම හැන්දෑව නාට්‍යයේ මේ ලක්ෂණ බහුලයි)

අනෙක් අතට පුංචි එරීනාව සාම්ප්‍රදායික ජන රංගය තුළ අපිට සමීප වන්නා සේම ජනයා අතරින් ඈත් වෙමින් යන වේදිකා නාට්‍ය කලාවට පිළියමක් සඳහා ද යොදා ගත හැකිි. මෙය ලෝක මට්ටමින් අත්හදා බැලෙන පර්යේෂණාත්මක ක්‍රමයක්. (බලන්න, black box රංගකලාව , එම් සෆීර්)

අඛිල සපුමල් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී අත්හදා බලන පුංචි එරීනාව black box ආකෘතියට බොහෝ ළඟ බව අපේ අදහසයි. (අවම සම්පත් භාවිතයෙන් නිර්මාණශීලී බවට ප්‍රමුඛත්වය ලබා දෙමින් ප්‍රේක්ෂකයා හා ප්‍රබල සන්නිවේදනයක් ඇති කිරීම හෝ මතු කිරීම බ්ලැක් බොක්ස් හෝ රංග කලාව යනුවෙන් හැඳින්වේ. -සෆීර්, 2011: 58) එය coffee theater හැඩයක් ගන්නා බව කලිනුත් සඳහන් කළා. එනම් කෝපි කෝප්පයක රස විඳින ගමන් නාට්‍ය නැරඹිය හැකි සරල රංගයක්. මේවා සරල රංගයන් වශයෙන් හැඳින්වුව ද පර්යේෂණාත්මක නාට්‍ය සඳහා බහුලව භාවිත වෙනවා. මෙය ඒ මට්ටමට සංවර්ධනය විය යුතුයි. නාට්‍යකරුවාගේ පැත්තෙන් මෙන් ම ප්‍රේක්ෂාගාරයේ පැත්තෙන් ද සමානව මේ සංවර්ධනය සිදු විය යුතු අතර එවිට අපිට කෝපි කෝප්පයක් තොලගාමින් පුංචි රංගය නිමවී  ඒ ගැන සාකච්ඡාවක නිමග්න විය හැකියි.

රංගනය

පුංචි එරීනාවේ රංගනය සම්මත ආකෘතියෙන් තරමක් වෙනස්. එය පූර්ණ යථාර්ථවාදී හෝ තාත්වික රංගනයක් හෝ බලාපොරොත්තු වන්නේ නෑ. ඒ වෙනුවට ප්‍රේක්ෂකයන්ගේ ඇස් ඉස්සරහ නළු නිළියන්ගේ රංගනයන් විවිධ ශෛලීන් ඇසුරෙන් ප්‍රතිනිර්මාණය වෙනවා. එසේ වුවත්මෙම ලිපියෙන්  රංගය අතරතුර අප දුටු සාධනීය හා තව වර්ධනය කරගත යුතු තැන් කිහිපයක් කෙරෙහි අවධානය යොමු කෙරෙනවා.

රජුගේ මව ලෙස රඟපෑ නිළිය තවදුරටත් එම චරිතයේ බර තේරුම් ගත යුතුව තිබුණා. අංග රචනය හා බාහිර විලාසය අතින් ඇය චරිතයට සරිලන වයස් ප්‍රමාණය පෙන්නුම් කළ ද කටහඬ සහ රංගනය මගින් එය අඩාල කර දැමුවා. රජුගේ සහ දියෝනිසස්ගේ රංගනය පැසසිය යුතුයි. අනෙක් ස්ත්‍රීන්ගේ රංගනයන්හි සුළු සුළු අඩුපාඩු තිබුණමුත් සමස්තයක් ලෙස ඔවුන් වේදිකාවේ සමබර රංගනයක නිරත වුණා. කැඩ්මස් හා තෙරේසියාස් ලෙස රංගනයේ යෙදුණු නළුවන් තවදුරටත් සිය චරිත වර්ධනය කරගත යුතුයි. අවසාන දර්ශනයේ දී සිය පුතුගේ හිස අතින් ගෙන අගෙව් කළ දුක්බර රංගනයට වේදිකාව මැද වැටී වැලපෙමින් සිටි කැඩ්මස් රජු බාධාවක්. ඒ මොහොතේ මව විශේෂ කර පෙන්වීමට කැඩ්මස්ව පසෙකට කළ යුතුව තිබුණා. එසේම තෙරේසියාස්ගේ අන්ධ බව හා ඒ තුළින් ලැබූ පරිණත බව මැවීමට නළුවා සමත් වුණේ මඳ වශයෙනුයි.

රංග වින්‍යාසය

අඛිල සපුමල්ගේ බොහෝ නාට්‍යයන්හි රංග වින්‍යාසය කැලණියේ academic playersලාගේ රංග ආභාසයන් සහිතවයි ප්‍රතිනිර්මාණය වන්නේ. එය සමතික්‍රමණයක් වීමට තව ටික කලක් ගතවෙයි. ඒත් ඔහුගේ ලෝකධර්මී ස්වභාවයට ළඟ (හිනාවෙලා මිනිත්තුවක් වැනි) නාට්‍යවල ඔහුටම අනන්‍ය ලක්ෂණ ගණනාවක් දක්නට ලැබෙනවා. කොහොම නමුත් අප මීට සති කිහිපයකට පෙර කැලණිය විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක ශාලාවේ  නැරඹූ රණවීරයන්ගේ ම පරිවර්තනයක් වූ කොලොන්නස්හි ඊඩිපස් රංග වින්‍යාසයට වඩා ඊයේ බැලූ බැකීහි රංග වින්‍යාසය ඉදිරියෙන් තිබෙන බව කිව යුතුයි.

රංග භූමි අලංකරණය

එය සංකේතීයයි. පුංචි එරීනාවට දැවැන්ත රංගභූමි අලංකරණය හෝ දැවැන්ත නාට්‍ය උපාංග කොහොමටත් ගැළපෙන්නෙ නැහැ. එය සංකේතාත්මක වීම අත්‍යවශ්‍යයි. බැකීහි එම තත්ත්වය දක්නට ලැබුණා. (තව ටිකක් එහි තිබෙන චතුරස්‍ර ගතිය අඩු කරන්න තිබුණා නම් නාට්‍යයෙන් මතු කෙරෙන මිනිස් සන්තානයේ අමු ගතිවලට යන ලක්ෂණය වඩාත් සමීප කරන්නට ඉඩ තිබුණා)

බැකී නාට්‍යයේ දාර්ශනික හා දේශපාලන මානය

බැකී මිනිසාගේ යටි සිත පිළිබඳ කතා කරන නාට්‍යයක් වශයෙන් ඇතැම් විචාරකයන් හඳුන්වනවා.  එය පිළිගත හැකි අර්ථකථනයක්. එක් අතකින් එය මිනිසාගේ යටි සිත තුළ නිමග්නව පවතින ආශාව පිළිබඳ කෘතියක්. ඊටත් වඩා එය රාජ්‍ය, ලෞකිකත්වය හා ඇදහිලි අතර කළහය නිරූපණය වන අපූරු නාට්‍යයක්.

පුද්ගල අවිඥානය යනු රහසේ සැඟවුණු දෙයක් නොවේ. එය තිබෙන්නේ එළිපිටමි. අප කතා කරන දේවලින් හා කරන දේවලින් අවිඥානය පිටාර ගලනවා. එසේ වුවත් සංස්කෘතිය, නොඑසේ නම් සංකේතීය ලෝකය විසින් මිනිසාගේ සිත් කඳුරේ ගිලී පවතින ආශාවන්ට නොයෙක් ඇඳුම් ඇන්දූ පසුයි බැහැරට ගෙන එන්නේ. එහෙයින් පුරුදු-පුහුණු කළ අයෙකුට හැර මේ සළුපිළි හැඳ එන අවිඥානය හඳුනා ගැනීම පහසු නැහැ. එහෙත් දියෝනීසස් දෙවියන්ගේ නාමයෙන් පුදපෙත් සඳහා සූදානම්ව, මිදියුෂවලින් පදම් වූ ස්ත්‍රීන්ගේ නිරුවත් රංගන තුළ සංස්කෘතික වහන්තරාවලින් සඟවන්නට උත්සහා කරන අවිඥානය එළිපිට දෝරෙ ගලනවා. 
මෙය පුද්ගලයාගේ උපරීම නිදහස හා ඇදහීමේ පරමානන්දය පිළිබඳ කථිකාවෙන් නතර කළ හැකි කියවීමක්ද? එක් අතකින් දියෝනීසස් මනුෂ්‍යත්වයේ හා ලෞකිකත්වයේ පරමානන්දය නියෝජනය කරනවා යැයි සිතිය හැකි නමුත් නාට්‍යය දෙස සංයුක්තව බැලිමේ දී මෙය එක්තරා ආන්තික වියරුවක් බව හඳුනා ගත හැකිි.
පංති සමාජය තුළ මිනිසා සිය යහපැවැත්ම වෙනුවෙන් නිමවා ගත් උත්තරීතර පාලන ආතනයයි රාජ්‍යය. රාජ්‍යයට ඉහළින් කිසිවක් ෑ(ආදි ග්‍රීක යුගයේ රාජ්‍යයට ඉහළින් දෙවියන් සිටිය ද නාටයකරුවන්, කවියන් හා දාර්ශනිකයන් විසින් එය අභියෝගයට ලක් කරන ලදී). බැකීහි රජු ප්‍රෙන්තියස්. ඔහුගේ සීයා කැඩ්මස්. මව අගෙව්. අවසානයේ දියෝනීසස් වන්දනාවෙන් වියරු වූ ප්‍රෙන්තියෙස්ගේ මව, අගෙව් ඇගේ ම පුතුගේ ගෙල කඳින් වෙන් කර ගන්නවා. නාට්‍යාවසානයේ තමා කළ දේ පිළිබද පියවි සිහි ලැබෙන විට අගෙව් හොගදටම ප්‍රමාදි. මේ නිසාවෙනි බැකී මිනිස් සන්ථානයේ නිදන්ගතව ඇති නිදහස පිළිබද සංකල්පය හෙළිදරව් වන නාට්‍යයක් පමණක් නොවී දේශපාලන නාටයයක් ද ‌වන බවට තර්ක කළ හැකියි.

මේ කරුණ ඒ ආකාරයෙන් ම මෙරට සමාජ-දේශපාලන අවකාශයට බහා බලන්නට නොහැකි වුවත් සමීපයව කියවා ගැනීමේ අපහසුවක් නැහැ. කලා කෘතියකින් මානවයා සුපුෂ්පිත කරනවා යනු රස මවන ගමන් ම අනවබෝධයේ අඳුරු මායාවන් වෙත ආලෝක ධාරා එල්ල කිරීමක් ද වන බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි.

සටහන         – කේ.ඩී. දර්ශන ඡායාරූප

ඡායාරූප – අර්ජුන දිල්ෂාන්(බැකී පුංචිඑරීනා නිෂ්පාදනය)
    – අන්තර්ජාලයෙන් (අනෙක් ඡායාරූප)

Recommended For You

About the Author: Editor(A)