කොළඹට එනවානම් මුඛ ආවරණ පළඳින්න – කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී

අද සිට (27) කොළඹට පැමිණෙන සියලුම ජනතාවට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණයක් (මාස්ක්) පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම නගරය තුළ මහජනතාව ගැවසෙන පොදු ස්ථාන, හෝටල් සහ ආපනශාලාවලට ඇතුළු වීමේ දී මෙම ක්‍රමය විශේෂයෙන් අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ පළඳින ලෙසත් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා විසින් වැඩිදුරටත් දන්වා සිටී.

මේ අතර කොළඹ වසංගත රෝග ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ද නිවේදනයක් නිකුත් කරමින් රෝගය වළක්වාගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සඳහන් කර ඇත. එම නිවේදනයේ සඳහන් වන පරිදි රෝගය පුද්ගලයකුගෙන් පුද්ගලයකුට බෝවීම වැළැක්වීම සඳහා අනුගමනය කලයුතු ක්‍රියා මාර්ග පහතින් දැක්වේ.

ගත යුතු ක්‍රියාමාර්ග –

  • ජනාකීර්ණ තැන්වල ගැවසීමෙන් වළකින්න.
  • අත් නිතර සබන් යොදා සේදීම සහ ඇල්කොහොල් සහිත පිරිසිදු කාරක යොදා පිරිසිදු
    කරන්න.
  • කහින විට හෝ කිවිසුම් යනවිට අතේ වැළමිට ප්‍ර දේශය පාවිච්චි කර මුඛය හා නාසය
    ආවරණය කරගන්න. නැතිනම් ටිෂූ පාවිච්චි කර ඒවා ආරක්ෂිතව අපහරණය කරන්න.
  • උණ සහ කැස්ස සහිත අය සමීපව ආශ්‍රය කිරීමෙන් වළකින්න.
  • ඔබ නව කොරෝනා වෛරස් රෝගය සහිත පළාතක සිට පැමිණි පසු උණ සහ කැස්ස
    වැළඳේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.

Recommended For You

About the Author: Editor(A)