කැලණි සරසවියේ දී නිහඩ විරෝධතාවයක්

කායික හා මානසික හිංසනයට විරුද්ධව කැලණිය විශ්වවිද්‍යාලයීය තෙල් බැම්ම ඉදිරිපිටදී අද (12) උදෑසන නිහඩ විරෝධතාවයක් පැවැත්විණි. “නාඳුනන සාමූහිකය” ශිෂ්‍ය එකමුතුවේ සංවිධායකතවයෙන් පැවැති මෙම නිහඩ විරෝධතාවයට සෙසු විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ද ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් සහභාගී වූහ.

ප්‍රතිත්‍රස්ත පනත මගින් රජය විසින් සිදු කරන හිංසනයට, බන්ධනාගාර තුළ සිදු වන හිංසනයට මෙන් ම විශ්වවිද්‍යාල තුළ පවත්නා ප්‍රචණ්ඩත්වයට සහ හිංසනයට ද විරුද්ධ විය යුතු බව නාඳුනන සාමූහිකයේ අදහස යි. නවක වදය, නවක නම්නීකරණය ආදී නානාප්‍රකාර නාමකරණයන්ගෙන් යුක්තව සිදු කරන විවිධ හිංසනයන් නිසා මනුෂ්‍යයන්ට මනුෂ්‍යයන් ලෙසින් පෙනී සිටීමට ඇති ස්වභාවික අයිතිය අභියෝගයට ලක් වන අතර ඒ සැලැසුම් සහගත අවමානුෂිකරණ ක්‍රියාවලියෙන් ගැලවීම සඳහා මිනිසාට අනවරත අරගලයක නිරත වීමට සිදු වී ඇත. නාඳුනන සාමුහිකය ක්‍රියාත්මක වන්නේ ඒම අරගලයට දායකත්වය ලබා දීමේ අරමුණ පෙරදැරිව ය.

කැලණිය විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වන නවක වදය (ඊට පක්ෂපාතී කණ්ඩායම් මෙම ක්‍රියාවලිය නවක නම්නීකරණය ලෙස හඳුන්වයි) නතර කිරීමට මැදිහත් වන ලෙස නාඳුනන සාමූහිකය කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කළ අතර ඒ් සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමය සාධනීය ප්‍රතිචාරයක් දක්වා නැත. විශ්වවිද්‍යාලයට පෙබරවාරියේදී පැමිණි නවක විද්‍යාර්ථින්ට ජ්‍යෙෂ්ඨ විද්‍යාර්ථින් විසින් මානසික හා වාචික හිංසනයට ලක් කරමින් නවක වදය (ඊට පක්ෂපාතී කණ්ඩායම් මෙම ක්‍රියාවලිය නවක නම්නීකරණය ලෙස හඳුන්වයි) ලබා දෙන ස්ථානය වන තෙල් බැම්ම ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්වීම සුවිශේෂීතාවයකි. කෙසේ වුවත් මෙම විරෝධතාවයට ස්වාධීනව සම්බන්ධ වීමට පළමු වසර විද්‍යාර්ථින්ට අවස්ථාවක් උදා නො වූ අතර ඒම අවස්ථාව ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විසින් උපක්‍රමශීලීව අහුරා තිබිණි.

නාඳුනන සාමූහිකයේ ක්‍රියාකාරී සාමාජිකයන් කිහිප දෙනෙකුම මීට පෙර අවස්ථාවලදී විද්‍යාර්ථින්ගේ විවිධ තර්ජනයන්ට හා හිංසාවන්ට ලක් වී ඇති අතර ඒ් සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමය දැනුම්වත් කිරීම ද ඵලදායී කාර්යයක් නො වී ය.

කෙසේ වුවත් මෙම නිහඩ විරෝධතාවයට කැලණිය විශ්වවිද්‍යාලයීය අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ප්‍රගතිශීලී සාමාජිකයන් කිහිප දෙනෙකුගේ ද සහයෝගය ලැබී ඇත.

Recommended For You

About the Author: Editor(A)