අසන්ධිමිත්තා සිනමාපටය ගැන වචනයක්…

නිර්මාණකරුවකු නවකතාවක් බිහිකිරීමට දරන ප්‍රයත්නය හා සමානව  පාඨකයාටද වෙහෙසීමට සිදුවෙමින් කෘතිය අවබෝධ කරගැනීමට ගැටුමක නිරත විය යුතු නිර්මාණ බිහි වෙමින් පවතී. සමන් වික්‍රමාරච්චිගේ අසන්ධිමිත්තා ද එවැන්නකි. කේ. කේ. සමන් කුමාර, අජිත් තිලකසේන, වික්‍රමාරච්චි, වෙඩිවර්ධන, සන්නස්ගල ඇතුළු ලේඛකයෝ කිහිපදෙනෙකු මෙම ක්‍රමය නියෝජනය කරත්. පාඨකයාට මුල මැද අග සහිත කතාන්දරයක් කියා අවසානයක් යෙදීම ඔවුන්ගේ කෘතිවලින් සිදුවන්නේ නැත. ඒ වෙනුවට ඒවා පැටලිලි සහිත සූක්ෂ්මව බේරාගත යුතු ආකාරයෙන් රචනා වෙයි. සමන් වික්‍රමාරච්චි විවිධ පරිවර්තන ග්‍රන්ථ කියවීමෙන් බටහිර රචනා හා සිද්ධාන්ත සමග සමීප අධ්‍යයනයක යෙදෙමින් ඒ හා සමානවම සාහිත්‍යයික අත්හදා බැලීම් සිදුකරයි. අසන්ධිමිත්තා නවකතාව වැදගත් වන්නේ එහෙයිනි.

සාහිත්‍ය නිර්මාණයක් ඇසුරින් සිනමාපටයක් ගොඩනැංවීමේදී ලේඛකයා වචනයෙන් මවන දෙය අධ්‍යක්ෂකවරයා රූපයෙන් මවයි. කෘතියම සිනමාපටයකින් බලාපොරොත්තුවීම අකැපය. එහෙත් මෙය කළ හැකි ආකාර ද්වයකි.  හුදු ග්‍රන්ථයම සිනමාපටයකට නැගීම එක් විදියකි. එයින් වෙනම කතාවක් මැවීම තවෙකකි. අසන්ධිමත්තාහි හඳගම කරන්නේ මෙයින් දෙවනු ක්‍රමයයි. කෘතියක් සිනමාපටයකට නැගීමේදී පාඨකයා චරිත ඇසුරින් මවාගන්නා ප්‍රතිරූපයට සිනමාපටයේදී මැවීමේදී හානි පැමිණීමද විය හැකිය. ප්‍රධාන නිළියගේ රංගනය කෙසේවේදැයි පළමුව අප පෝස්ටරය දකින පමාවෙන් සිතන දෙයය. නමුත් නිල්මිණී ඊට සාධාරණ පිළිතුරක් සපයා තිබේ. අසන්ධිමිත්තා කියවීමේදී මැවෙන පාඨකයාගේ චිත්ත රූපයට ඇය ඔබී. හඳගම සංවාදයකට සහභාගී වෙමින් කියාසිටි ඕනෑම ගැටලුවකට මුහුණ දිය හැකි හයිය කාන්තාවක සේම ප්‍රිය මුහුණක්ද සහිත කාන්තාවක මෙම චරිතය වෙනුවෙන් අවැසි වූ බවයි.  සුපුරුදු නිළියක වෙනුවනට නව මුහුණක් හඳුන්වාදීමේ හඳගම සළකුණ මෙහිදීද ක්‍රියාත්මක වේ.

අසන්ධිමිත්තා නවකතාවේ පාඨකයා ප්‍රබන්ධය හා යථාර්ථය යන දෙකෙහිම මැද අතරමං කර තබන්නා සේ සිනමාපටයේද එය එසේ කරයි. කෘතිය අයත්වන්නේ ප්‍රබන්ධයටම නොව පාර- ප්‍රබන්ධමය ගණයට බවත් එහිදී පාඨකයාට ගෙදරවැඩ පවරන ආකාරයේ නිර්මාණයක් රචනා කරමින් අවසානයේ තමා ලියූව ලේඛකයාව බිදලන ආකාරයෙන් රචනා කර ඇති  බවත් ප්‍රියාන් සිය ලිපියකින් පහදයි.(http://ravaya.lk/?p=10422) නිර්මාණය නිකුත් කර අවසන් වූ විට එය අයිති එය රසවිදින්නාටය. එතනින් අධ්‍යක්ෂකවරයාගේ හෝ ලේඛකයාගේ කාර්යය අවසන් වෙයි. නමුත් අසන්ධිමිත්තාහි ප්‍රේක්ෂකයාට තනිව රසවිදීමට නොව ඔවුන්වද සිනමාපටයට සම්බන්ධ කරගැනීමක් සිදුවේ. ප්‍රබන්ධයක්, කලා නිර්මාණයක් යැයි දන්නා රසවිදින්නා වුව ඒ අතරට හැරදමා අතරමං කරවයි. මෙය පාඨකයාවද රුගෙන කථාව ගලායාම ලියෝ තෝල්ස්තෝයිගේ යුද පෙරමුණක තෙමසක්හි සිහිකරවයි. එහිදී ද පාඨකයාට වෙනම කතාවක් ඉදිරිපත් නොකෙරේ. ලේඛකයා පාඨකයාට අමතමින් පාඨකයාවද කැදවාගෙන යයි. සිනමාපටය අප කියවිය යුත්තේද එලෙසිනි. ප්‍රධාන නිළිය ප්‍රේක්ෂකයාට ඉගිකිරීම, මිනී පෙට්ටියේ සිට විකී පියන් හැර එහි වාඩිවීම, ලේඛකයාගේ නිවසට අසන්ධිමිත්තා කියූ විකීගේ පැමිණීමේ භීතිය ආදිය නිදසුන්ය. ෆෙඩ්‍රික් ෆෝසිත්ගේ කෘතීන්හි මෙන් ලුහුබැද යන පොලිසිය හා අපරාධකරුවාගේ සිදුවීම් ගළපන්නා මෙන් ලේඛකයා නිවසට පැමිණීම පෙන්නුම් කරයි.

සින්තටික් සිහිනහි හඳගම කියන ‘ අප යන්නේ එකම වෘත්තයක් වටේටය, එනිසා වෘත්තයක යද්දී පසුවූ දෑ නැවත හමුවේය’  යන්න, අසන්ධිමිත්තා බලනවිට ‘අප යන්නේ වෘත්තයේ ආපස්සට’ බැව් හැගේ. කාන්තාවන් බස් රථයේදී පුරුෂයන්ගෙන් අතවරයට ලක්වන බව කියමින් පුරුෂයන්ට චෝදනා නගන බුරුෂුවා ස්ත්‍රීවාදීන් නොව මෙහි සිටිනුයේ එය තෘප්තියක් කරගනිමින්  වින්දනයක යෙදෙන කාන්තාවක් සහ පුරුෂයෙකි. විවාහ බන්ධනයකින් තොරව කුටුම්බයට පැමිණ ස්ත්‍රියකට රූකඩයක් වන පුරුෂයෙකි. මම ඔයාට රූකඩයක් වෙන්නම් කියා අසන්ධිගේ සැමියන් දෙදෙනා වළං සෝදයි, ඇය ස්නානය කරද්දී පිට අතුල්ලයි. විකී ඇයගෙන් මුදල් ඉල්ලයි, අනෙකා ඇයට මුදල් දෙයි. පුරුෂයාගේ ආසාව වන්නේ පෙර මෙන් දඩයක්කාරී දිවියක් නොව ගුහාව තුළ ස්ත්‍රියගේ ආස්ථානයට යාමයි. 

පුරුෂ ෆැන්ටසිය සරාගී සිහින් කාන්තා සිරුරට  සාහිත්‍යෙයන් අනුබල සැපයෙන නමුත් මෙහිදී එය ආපස්සට හරවා ස්ථුල තැනැත්තියක මගින් එයම සරාගීබව කරවයි. රාත්තල් 300ක් බර බව ඇය පුන පුනා ආඩම්බරයෙන් පවසයි. ස්ථුල කාන්තාවකවීම අරඹයා ප්‍රීති වෙයි. නිළියගේ සාත්වික අභිනය සාර්ථකය. රාත්තල් 300ක් බර ආදරය කෙබදුදැයි බැලීමට යන පාඨකයා ඇගේ රංගනයෙන් තෘප්තිමත් වේ.

අසන්ධිමිත්තාහි පෝස්ටරයේ විශේෂත්වය ගින්නෙන් උපන් සීතලද සමග එක්ව කෙටි විමසුමකට ලක් කිරීමට විකුම් ජිතේන්ද්‍ර මෑතකදී තැත් දැරීය.  මළ පුඩුව අබියස සිනාමුසු මුහුණින් කාන්තාවක සිටීමත් අවට පසුතලය අඳුරු කර ඇය වෙත ආලෝකය පතිත කරවීමත් අපට එහිදී සිහි වේ. මරණයට යන කාන්තාවක වැළපීම ප්‍රේක්ෂකයා බලපොරොත්තු වෙතත් ඇය විකීගේ මිනිය නිවසට ගෙනෙද්දී පවා හඬ හඬා නොවැළපේ. ඒ අබියස විකීගේ බිරිඳ සමඟ කෙහෙවලු පටලවා ගනී. පොලිස් නිලධාරීන්ගේ සහායෙන් මළ පුඩුව වෙත නගින අසන්ධිමිත්තා කර ඔසවා බලා  සිනාසෙන්නේ ප්‍රේක්ෂකයාට බව අපට වැටහෙන්නේ සිනමාපටය අවසන් වූ විටදීය.

සිනමාපටය අවසානයේ අසන්ධිමිත්තා කෘතිය කියවන තරුණියට ‘ඔය පොතෙන් හදගම ෆිල්ම් එකක් හදනවලු නේද’යි අසන විකීගේ බස අසන ප්‍රේක්ෂකයාට සිතෙන්නේ ලේඛකයාත් අධ්‍යක්ෂකවරයාත් විකීත් එක්ව තමන් වෙනුවෙන් සිනමාපටයට අමතරව වෙනම රඟපෑමක් කර ඇති බවය. සියල්ල ප්‍රබන්ධ ම නොවන බවය. ප්‍රබන්ධය යනු සත්‍යම බවය.

-ඩිල්ෂානි චතුරිකා දාබරේ-

Recommended For You

About the Author: Editor(A)