Mirror වෙනුවට The Lover ලිංගිකත්වයට කැඩපතක්

පසුගිය සතිවල කතා කරපු සිනමා නිර්මාණ වෙනුවට අද තෝරගන්නෙ නාට්‍යයක්. විවාහය හා ලිංගිකත්වය මෙන් ම සංස්කෘතිය හා සොබා දහම ගැන මේ ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්.

හැරල්ඞ් පින්ටර්ගේ නාට්‍යය සිංහලට පරිවර්තනය කරන්නෙ ලක්ෂ්මන් ප‍්‍රනාන්දු. අධ්‍යක්ෂණය තිළිණි රුවන්දිකා. මේ සුසංයෝගය පේ‍්‍රක්ෂකයාව රංග ශාලාව තුළ දී මොහොතක් කටුක යථාර්ථයෙන් ඔබ්බට ඇදගෙන යනවා. නාට්‍ය කවියක් වගේ ඉදිරියට ඇදිලා යද්දි දන්නෙ ම නැතිව අපි ඉස්සරහ ආයෙත් අර කටුක යථාර්ථය ම මැවෙන්න ගන්නවා. ටිකක් ඇබ්සර්ඞ් විදියට.

ප‍්‍රධාන චරිතය සේරා(තිළිණි රුවන්දිකා). සේරාගේ සැමියා රිචඩ්(යසන්ත බුද්ධික). රිචඞ් රැකියාව පිණිස දිනපතා කන්තෝරුවට යනවා. සේරා නිවසේ රැඳෙනවා. රිචඩ්  රැකියාවට ගිය සෑම දිනකම හවස් භාගය සේරා ගෙවා දාන්නෙ තවත් පෙම්වතෙක් සමග. ඔහු මැක්ස්. (මේ චරිත දෙකට ම පණ පොවන්නෙ යසන්ත බුද්ධික) මේ දෙන්නගෙ සංයෝගය හරි ම ලිංගිකයි. පේ‍්‍රක්ෂාගාරය උතුරා යන ප‍්‍රමෝදයෙන් බලා ඉන්නෙ ඔවුන්ගේ ලිංගික ක‍්‍රීඩාව දිහා. වෙලාවකට බොරු රඟපෑම, තවත් වෙලාවක සිප වැළඳ ගැනීම්. තවත මොහොතක සිගරට් දෙකක් පත්තු කරගෙන දුම්ගුලි පිට කරමිනුත් සේරාගේ හා මැක්බත්ගේ සවස් කාලය ගෙවිලා යනවා.

පේ‍්‍රක්ෂකයා මොහොතින් මොහොත දකින් දසුනේ ප‍්‍රමෝදය දෙදරන්නෙ නාට්‍යයේ මැදක් ගිය විට. එතෙක් අපි හැමෝ ම උත්සහා කරන්නෙ සේරාගේ නීත්‍යානුකූල සැමියා වන රිචඞ්ව ගෙයින් එළවා ගන්න. පේ‍්‍රක්ෂකයා නිතර ම පතන්නෙ රිචඞ් කොයි මොහොතේ හෝ ගෙදරින් එළියට යනවා  දකින්න. ඒ මොකට ද? සේරගෙ අනියම් පෙම්වතා වන මැක්ස්ව නිවසට ගෙන්ව ගන්න. ඔවුන්ගෙ රති හරඹය නරඹන්න. එක පැත්තකින් එය පේ‍්‍රක්ෂකයාගේ අවිඥානය; නැත්නම් සංස්කෘතිය විසින් යටපත් කරන ලද ස්වභාවික ආශාව නියෝජනය කරනවා. රිචඩ්ගේ සහ සේරාගේ සම්බන්ධය නීත්‍යානුකූල අඹු-සැමි සම්බන්ධයක්. ඒ වටා වැට සහිත සංස්කෘතියක් තියනවා. ඔවුන්ට බෑ අනියම් පෙම්වතුන්ට වගේ අශ්ශීල රති සාගරයේ ගිලෙන්න. ඒ වෙනුවට ඔවුන් සමාජය විසින් දුන් විවාහයේ උරුමය නඩත්තු කළ යුතුයි. සේරා සහ රිචඞ් පවුල කරපින්නාගෙන යන අතරෙ සේරා සහ මැක්ස් සමග පේ‍්‍රක්ෂකයා රමණයේ යෙදෙනවා.

මේ හැම දෙයක් ම සෘජුව හෝ වක‍්‍රව නරඹන්නන්ගේ ජීවිතයට අදාළ යි. විකාරරූපී රංග ශෛලියක් නාට්‍යය පුරා දිව්වට, ඒ විකාරරූපී බව තරම් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු තැන්වලට විදුලි ආලෝකය එල්ල කරන තවත් ශෛලියක් නෑ.  සෑම ආවේගයක් ම ෆ්‍රොයිඩියානු අර්ථයෙන් ලිංගිකයි. තවත් විදියකින් කිව්වොත් මිනිසුන්ගෙ විවිධ ආවේගවලට හේතුව ලිංගික බාධා කිරීම්(අවරෝධනයන්). මේ අනුව බලද්දි අපි ජීවත් වෙන සමාජය කොයි තරම් අසහනයකින් පෙළෙනවද කියලා වැටහෙනවා. මිනිසා නිර්මාණය කරපු සංස්කෘතිය මිනිසාට ම විරුද්ධව නැගී සිටිද්දි ඒ සංස්කෘතිය වෙනස් කර නොගන්නා සමාජ ජීවීන් කොටසක් විදියට ලාංකිකයො හ`දුන්වන්න බැරි කමකුත් නෑ. හැම වෙලාවෙම රකින්න දෙයක් හොයන අපි බෙල්ල ම ගහල ගියත් රකින්න දෙයක් හොයන එක නවත්තන්නෙ නෑ. අවමයෙන් අවුරුදු 2500ක ඉතිහාසය ඇතුළෙ අපි කොයි තරම් වෙනස් වුණ ජාතියක් ද? මේ බව නොදැන වගේ හදාගත්ත සංස්කෘතිය රකිමින් ගෙවන ජීවිතයේ අරුතක් තියෙනව ද?  

The Lover ප‍්‍රශ්න කරන්නෙ මෙවැනි පසුබිමක්. සංස්කෘතික සම්බන්ධතා සහ ස්වභාවික සම්බන්ධතා අතර තියන පරතරය. විවාහය හා ලිංගිකත්වය අතර වන දෙමුහුන් බව. කොටින් ම කිව්වොත් සම්මතය, අසම්මතය හා පරම තෘප්තිය. අතෘප්තිකර බව මිනිසාට ගෙන එන පීඩනය සමාජ ගත වෙන්නෙ වෙනත් මංවලින්. රංග පරම සංගීතයත් එක්ක මුසුවෙලා ඇස් දල්වාගෙන ඉන්න පේ‍්‍රක්ෂකයන්ගෙ හදවතට කොඳුරන ගමන් The Lover විසින් අපි ජීවත් වන සමාජය ප‍්‍රශ්න කරනවා. සෘජුව නෙවේ, නාට්‍ය අභ්‍යන්තරය තුළින්. විවාහ සංස්ථාව නමැති කෘතිම තැනුම් ඒකකය දවසින් දවස පත්වන අර්බුදයට සාක්ෂ්‍ය  ඕනෙ තරම්’

මිනිස් සමාජය හැමදාමත් ස්ත‍්‍රිය සහ පුරුෂයා කියන දෙන්නගෙ එකතු වීමෙන් තැනෙන පවුල මත රැඳුනෙ නැති බව මානව ශිෂ්ඨාචාරයේ ඉතිහාසය හොයාගෙන යද්දි තේරෙනවා. වැඩි දුර යාම අවශ්‍ය නෑ. සුද්දගෙ නීතිය එන්න පෙර ලංකාවෙ  ඕනෙ තරම් එකගෙයි කෑම තිබිල තියනව. ඒ කියන්නෙ සහෝදරයින් කිහිප දෙනෙක්ට එක බිරි`දක් ගෙන ඒම. තවමත් ලෝකයේ විවිධ ගෝත‍්‍ර සමාජ අතර විවෘත ලිංගික සබඳතා ක‍්‍රියාත්මක වෙනවා. මේ හැම දෙයක් ම ඇසුරෙන් අපි තේරුම් ගත යුත්ත තමා, මේ මොහොතේ ලෝකය පවතින විදිහ කියන්නෙ සදාකල් ලෝකය පවතින්න  ඕන විදිය නෙවේ කියන කාරණාව. මේ නිසා තිළිණි රුවන්දිකා හැරල්ඞඩ් පින්ටර් ඔස්සේ පේ‍්‍රක්ෂකයා ඉදිරියට කැඩපතක් ගේනවා. The Lover වෙනුවට Mirror එකක්. කැඩපතක් වෙනුවට නාට්‍යයක්.

තමන්ගෙ අභ්‍යන්තරය දකින්න බය  ඕනෙ ම කෙනෙකුට පුළුවන් ඔයැ The Lover වර්ජනය කරන්න.

කේ. ඩී. දර්ශන

Recommended For You

About the Author: Editor(A)