
(මා කුඩා කාලයේදී අවට පොහොසත් නිවෙස්වල මල්වර මංගල්‍යවලදී, මංගල උත්සවවලදී හා ප්‍රිය සම්භාෂණ වලදී අප ඉතාමත් දුඛිත දිළින්දන් වූ බැවින් ඇරයුම් ලැබුනේ නැත……………
සමහර අවස්ථාවන්වල අම්මා එම නිවෙස්වල වළන් පිඟන් සේදීමටවත් ඇරයුමක් ලැබේදෝයි බලා සිටියේ එදිනටවත් මට රහට වේලක් කන්නට දෙන්නට බැව් මා දනිමි.නමුත් කිසිදාක එවැනි ඇරයුම් ලැබුනේ නැත………..
මේ කව දිළිඳු මලක මල්වර මංගල්‍යයක් පිළිබඳවය.එදා අපට ආරාධනා නොකළ රෝස නෙළුම් කැනස් ගැන මෙදා මම කිසිලෙසක නොතැවෙමි……….!!! )
නිදිමරන සිකියුරිටි කඩුපුල්
වින්කලේ පැච් දමන ඩැෆඩිල්
ගඟේ වැලි ගොඩදමන මානෙල්
කුළී කම්කරුවෙක්ය සපුමල්………
ඕටී බටා හිග බාලොලි
පල් වතුරෙ ලෙළි කඩන හතු ගුළි
ගල්වලේ ගල් කඩන කහඹිලි
කෙට්ටුවට කෙට්ටුවේ තිප්පිලි……….
නිදිකුම්බ පිළිගනී කුඩුමිරිස
තේ කෝපි අරන් එයි එරමිනිය
කැකිරි මල් කුමාරිගෙ කොටහළුව
පුහුල් වට්ටක්ක මල් දොඩමළුය…….
කැනස් ඇන්තූරියම් මධුසාද
ලිලී හෝ නෙළුම්වල ප්‍රියසාද
යුවතියන් වන විටදි රතුරෝස
අපිට එන්නට නොදෙයි කිසිදාක ………
දුක්මුසුව එවැනි දේ
කියන විට වැටමාර
දූ පුතුන් සිපගනියි
සෙනේහෙන් පෙතිතෝර………….
කුලභේද පන්ති පරතර අවලාද
මල්වලත් අඩු නැතිව මතවාද
පෙති හැලී කූඹි බොයි මකරන්ද
මලට පොළොවක් නැතුව පුළුවන්ද ?
වෙන් වෙන්ව පැවතුනද
පාට හෝ එහි සුවඳ
සමානව දරනු ඇත
මලක බර නටු නිබද
ජාති කුළ මල පාට
පරයමින් ප්‍රිය සබඳ
නහරවල ලේ රතුය
ගමන අඩු වැඩි වුවද………….!!!
———————————————
නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්