බොලිවුඩයේ පළමු සුපිරි තරුව – රාජේෂ් ඛන්නා

අශීන් හේරංග හෙට්ටිආරච්චි විසිනි.

ලෝකයේ විශාලතම සිනමා කර්මාන්තයට උරුමකම් කියන රට වන්නේ ඉන්දියාවයි. එහි වසරකට චිත්‍රපට 1600 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදය වන අතර ( සියලුම භාෂා ) අන් කවර රටකටත් වඩා වැඩි ප්‍රේෂකයින් ප්‍රමාණයක් එම සිනමා පඨ නරඹනු ලබයි. ඉන්දියානු සිනමා කර්මාන්තයේ නියලී සිටින රංගන ශිල්පීන්  අතිවිශාල ප්‍රේෂක සමුදායකගේ ආදරයට පත්‍ර වන අතර ඔවුන්ගෙන් සමහරක් ප්‍රේෂකයන් දේවත්වයෙන් අදහනු ලබයි. ඉන්දියාවේ විවිධ භාෂාවන්ගෙන් වු සිනමා කර්මාන්තයත් වෙන් වෙන් වශයෙන් විවිෂ නම් වලින් හඳුන්වනු  ලබයි. උතුරු ඉන්දියාවේ චිත්‍රපටි කර්මාන්තය බොලිවුඩ් යන නමින් ද , දකුණු ඉන්දියාවේ දමිල සිනමා කර්මාන්තය කොලිවුඩ් යන නමින් ද, තෙලිගු සිනමා කර්මාන්තය  ටොලිවුඩ් යන නමින් හැඳින්වීම ද මීට උදාහරණ වශයෙන් දැක්විය හැක. මෙම ලිපියෙන් අප ඔබ හමුවේ තැබීමට බලාපොරොත්තු වන්නේ  “ බොලිවුඩයේ පළමු සුපිරි තරුව  ” යන විරුදාවලියෙන් පිදුම් ලැබු රාජේෂ් ඛන්නා පිළිබඳවයි. මෙහි අරමුණ ඔහුගේ ජීවන තොරතුරු ඔබ හමුවේ තැබීම නොව ඔහුගේ ජීවීතයේ තරමක වෙනස් අප්‍රකට තොරතුරු කිහිපයක් ඔබ සමඟ බෙදා හදා ගැනීමයි.

       1942 දෙසැම්බර්  29 වන දින උපත ලැබු රාජේෂ් ඛන්නාගේ උපන් නාමය වූයේ ජතින් ඛන්නා යන්නයි. කුඩා ජතින්ගේ මවගේ ඥාති සොහොයුරියකට දරුවන් නොසිටිය බැවින් ඔහුව හදා වඩා ගනු ලැබුවේ මවගේ ඥාති සොහොයුරිය හා ඇයගේ ස්වාමි පුරැෂයා විසිනි. ජතින් සිනමාවට ප්‍රවිශ්ඨ වීමේ දී ඔහුගේ නම මව් පියන්ගේ ඉල්ලීම පරිදි රාජේෂ් ඛන්නා වශයෙන් වෙනස් කර ගන්නා ලදී.

       රාජේෂ් ඛන්නා සිනමාවට පිවිසියේ ඉන්දීය රංගනය පිළිබඳ වු තරඟයක ජයග්‍රාහකයා වූ නිසාවෙනි. 1965 දී පැවති මෙම තරඟයෙන් ඔහු ජයග්‍රහණය කළ අතර එය සංවිධානය කර තිබුනේ ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයන්ගේ සංගමය විසිනි. එම නිසා එම ජයග්‍රහනයෙන් අනතුරුව ඔහුට චිත්‍රපට රාශියක් ලැබිණි. 1969 ආරාධනා චිත්‍රපටයෙන් පසුව රාජේෂ් ඛන්නාට බොලිවුඩයේ පළමු සුපිරි තරැව යන නාමය ලැබිණි. 1969 -1972 කාලය තුළ ඔහු චිත්‍රපටි 17ක රඟපෑ අතර  එම චිත්‍රපට 17 ම බොක්ස් ඔෆිස් වර්තා තබමින් තිරගත වීමේ වර්තාව බිද හෙලීමට අද වන තෙක්  කිසිදු රංගන ශිල්පියෙක් සමත් වී නැත. රාජේෂ් ඛන්නා ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ සිටි අවධියේ ඔහු එළි පහලියට යාමේදී ඔහු හට පොලිස් ආරක්ෂාව ලබාදීමට ද ඉන්දීය පොලිසියට සිදු විය. ඒ ඔහු හට ජීවිත තර්ජන තිබු නිසා නොව එම කාලයේ ඔහු හට උමතුවෙන්  පෙම් කළ කාන්තාවන්ගෙන් ඔහු ආරක්ෂා කර ගැනීමටයි.  දිනපතා ඔහුට රුධිරයෙන් ලියු ආදර හසුන්  ලැබුනු අතර සමහර රසිකාවියන් ඔහුගේ ඡායාරෑප සමඟ විවහා විය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළ අන්දමට  ඔහුගේ සුදු පාට ෆියට් රථය කාන්තාවන් සිප ගැනීම නිසා එහි සුදු පැහැය රතු පාටට හැරී තිබීම සාමාන්‍ය දර්ශනයක් විය. ඔහු රූගත  කරන ස්ථානවල වැඩිපුරම රැස්  වුයේ කාන්තාවන් වු අතර  ඔවුන්ව පාලනය කිරීමට පොලිසිය යෙදවීමට පවා සිදු විය. කාන්තාවන්ගේ සිත් දිනා ගැනීමට එකල පිරිමි ඔහුගේ විලාසිතාද අනුගමනය කළ බව වාර්තා වේ. රාජේෂ් ඛන්නාට ප්‍රථම බොලිවුඩ් සිනමාවේ රාජ් කපුර් , දිලිප් කුමාර් ,දේව් ආනන්ද් යනාදි  වශයෙන් තරු සිටියද මෙතරම් රසික උම්මාදයක් ඇති කළ  ප්‍රථම  සුපිරි තරුවක්  බිහිවුටය් නැත.

   රාජේෂ් ඛන්නා  අන්ජු මහේන්ද්‍රන්  නැමැති නිළිය සමඟ 1972 පමණ වන තෙක් ප්‍රේම සම්බන්ධයක් පැවැත්වීය. කෙසේ නමුත් ඇය විවාහයට එකඟනොවීම නිසා ඔවුන් වෙන් වු අතර ඉන් මාස 8කට පසුව රාජේෂ් ඛන්නා තමන්ට වඩා වසර 17ක් වයසින් ලබාල ඩිම්පල් කපාලියා සමඟ විවහා විය. මෙම විවාහය හදිසි තීරණයක් මත සිදු වුවක් වන අතර 1984 දී වෙන් විය. නමුත් දික්කසාද වීමක් සිදු නොවීය. ඉන් අනතුරුව ඛන්නා ටීනා මුඛීන් නැමැති නිළිය සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවැත්තු අතර අවසාන කාලයේ ඔහු අඛීතා අද්වානී නැමැති කන්තාව සමඟ එකට ජීවත් විය. රාජේෂ් ඛන්නා හා කපාලියාට දූ වරැන්  දෙදෙනෙකු සිටින අතර ජනප්‍රිය බොලිවුඩ් නළු අක්ෂය කුමාර් විවහා වී සිටින්නේ ඔහුගේ වැඩිමහල් දියණිය වන ටුවින්කල් ඛන්නා සමඟය.

   1970 දශකයේ  අගභාගයේ බොලිවුඩ් ආක්‍රමණය කළ ක්‍රියාදාම රැල්ලත් සමඟ රාජේෂ ඛන්නාගේ ප්‍රේමවන්තයාගේ භූමිකාව අභිබවා සටන් චිත්‍රපට ඉදිරියට ආවේය. රාජේශ් ඛන්නා එවකට පැවති රැල්ල හදුනා නොගෙන දිගින් දිගටම ප්‍රේමවන්තයාගේ භූමිකාවට පණ පෙවීය. ඔහු කලින් රසිකයන් වසඟ කළ එම ප්‍රේමාන්විත රංගනය දිගින් දිගට ම නැවත නැවතත් ඉදිරිපත් කළේ ය. නමුත් අමිතාබ් බච්චන්  ශත්රුගන් සින්, ධර්මේන්ද්‍ර වැනි රංගන ශිල්පීන් සටන් ජවනිකා ද පෙම් ජවනිකා හා සමාන ශක්‍යතාවයකින් ඉදිරිපත් කළ නිසා ඔවුන්ට පැවති ඉල්ලුම දිගින් දිගටම වැඩිවිය. විශේෂයෙන් සන්ජීර්, ධිවාර්, ශෝලේ වැනි චිත්‍රපට තිරගත වීමත් සමග අමිතාබ් බච්චන්ගේ ජනප්‍රියත්වය දිගින් දිගට ම වර්ධනය විය. මීට අමතරව කෙමෙන් කෙමෙන් වියපත් වූ රාජේශ් ඛන්නාගේ ජනප්‍රියත්වය අඩු වීම ආරම්භ විය.   

තමන්ගේ පෙර පැවති ජනප්‍රියත්වය හීන වීම නිසා රාජේශ් ඛන්නා දැඩි මානසික පසුබෑමකට ලක් විය. විශේෂයෙන් අමිතාබ් බච්චන් සමඟ ඔහු හට සීතල යුද්ධයක් පැවතිනි. කෙසේ නමුත් අමිතාබ් බච්චන් වර්තමානය දක්වා ඉහළ වෘතීය ගුණාංග සහිතව තමන්ගේ සාර්ථකත්වය රැක ගත්ත නමුත් මුරණ්ඩුකාරයෙකු වූ රාජේශ් ඛන්නා දිනෙන් දින ම පරිහානියට පත් විය. 1980 අවසන් භාගයෙන් පසුව ඔහු ඔහුගේ පැරණි චිත්‍රපට හා ගීත නිසා ජනප්‍රිය වූවා මිස ඔහුගේ නව චිත්‍රපට රසිකයන්ගේ හදවතේ රැදෙන්නට අපොහොසත් විය.      

රාජේශ් ඛන්නා තම අවසාන කාලයේ  චිත්‍රපටයක රගපෑම දක්වා තම වෘතීය ජීවිතය පසුබැස තිබුණි.2012 ජූලි 14 වන දින තම ජීවිතයේ 70 වන සැතපුම් කණුව පසු කරමින් සිටිය දී ඔහු ජීවිතයෙන් සමු ගත්තේ ය. ඔහුගේ චිත්‍රපට හා ඒවායේ ඇතුලත් ගීත අදටත් රසිකයන්ගේ සිතෙහි සදා අනුස්මරණීය ය. වරක් ඔහුගේ චිත්‍රපට අසාර්ථක වීම පිළිබද රාජේශ් ඛන්නාගෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් විමසීය. ඊට ඔහුගේ පිළිතුර වූයේ “මගේ චිත්‍රපටි අසාර්ථක වෙන්න පුලුවන්.නමුත් මම කවදාවත් අසාර්ථක පුද්ගලයෙකු වෙන්නෙ නෑ.හැමදා ම බොලිවුඩයේ සුපිරි තරුව මමයි.”

Recommended For You

About the Author: Editor(A)