නිෂ්පාදන ආර්ථිකයක කඩිනම් අවශ්‍යතාවය

නිදහස ලැබූ 1948 වර්ෂයේ සිට මේ දක්වා එනම් දශක 07ක කාලයක්  ශ්‍රී ලංකාව  සංවර්ධනය වෙමින් පවතින රටක්  යන මන්ත්‍රය මතුරමින් සිටී. නිදහස ලබන විට ශ්‍රී ලංකාව ආසියාවේ  ආර්ථික බලවතකු බවට පත් වී සිටි අතර වර්තමානයේ ලෝක ආර්ථිකයේ තුන්වන ස්ථානය හිමි ජපානය පවා ශ්‍රී ලංකාවට පසු පසින් සිටියේ ය. දශක ගණනක් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස පුනරුච්ඡාරණය වන  ශ්‍රී   ලංකාව  කිසි දිනෙක සංවර්ධිත රටක් බවට  පත් නොවන බව බහුතරයක් ශ්‍රී  ලාංකිකයන් පවා සිතයි. සැබැවින්ම වර්තමාන ශ්‍රී ලංකාවේ මංමුලා වූ ආර්ථික ක්‍රමය දිගින් දිගටම ක්‍රියාත්මක වුවහොත් එය යථාර්ථයක් වනු ඇත.

2017 මහ බැංකු වර්තාවට අනුව දල දේශිය නිෂ්පාදනය තුළ  සේවා අංශයේ 56%ක් ද කර්මාන්ත අංශයේ 27%ක් ද කෘෂිකාර්මික අංශය 7%ක් ද  වශයෙන් ශ්‍රී ලංකා ආර්ථිකය සමන්විත වේ. ආර්ථික නිර්ණායකයන්ට අනුව බෝහෝ සංවර්ධිත රටවල සේවා අංශය 70%ක් පමණ  දායකත්වයක් ද.දේ.නි ලබා දෙයි. ඒ අතින් බලන කල ශ්‍රී ලංකාවේ සේවා අංශයේ දායකත්වයට සංවර්ධිත රටවල් සමඟ සසඳන කල ඉහළ අගයක් දක්වයි. එහෙත් ශ්‍රී ලංකාව තවමත් සංවර්ධිත රටක් බවට පත්ව නැත. ගැටලුව නම් ශ්‍රී ලංකාවේ සේවා අංශය නැංවීම මගින් පමණක් සංවර්ධනය කළ නොහැකි වීමයි. වර්තමානයේ සංවර්ධිතයැයි සැලකෙන බොහෝ රටවල් එම තත්ත්වයට පැමිණීමට පෙර දළ දේශීය නිෂ්පාදනයේ කර්මාන්ත අංශය 60% ක පමණ ඉහළ දායකත්වයක් දක්නට  ලැබුණි. එනම් කර්මාන්ත අංශය රටක් සංවර්ධිත බවට ඔසවා තැබීමට ප්‍රමුඛතම කාර්යක් ඉටු කරයි.  ආර්ථික විද්‍යාවේ දී  නිෂ්පාදන ආර්ථිකය යනුවෙන් හඳුන්වන්නේ මෙම සංකල්පය යි. එනම් රටක නිෂ්පාදන හැකියාව උපරිම ලෙස උපයෝජනය කරමින්  නිෂ්පාදන කර්මාන්ත ඇති කර රට තුළ  නිපදවා ගත හැකි දෑ රට තුළම නිපචදවාගෙන අතිරික්තය ඉලක්කගත විදේශ වෙළඳාමෙන් අපනයනය කිරීමේ සැළසුමයි. එමඟින් රට පුරා සම්පත් උපයෝජනය වන අතර නව රැකියා අවස්ථා උත්පාදනය වීම සිදුවේ. එය රටක විරැකියාව අවම කිරීමට හේතු වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික සැළසුම් දෙස බලන විට පෙනී යන කරුණ නම් පසුගිය දශක 7ක කාලය තුළ නිෂ්පාදන කර්මාන්ත ඇති කිරීමට ප්‍රමාණවත් අවධානයක් යොමු නොවන බවයි. 1970 දශකයේ මුල යම් තාක්  දුරට නිෂ්පාදන කර්මාන්ත සංකල්පය ආරම්භ කිරීමට උත්සාහයක් ගත් බව දක්නට ලැබුණි. උදාහරණ ලෙස ඔරුවල වානේ සංස්ථාව, තුල්හිරිය රෙදි කම්හල, කැළණිය ටයර් සංස්ථාව, කන්තලේ සීනි කර්මාන්තය ආදිය පෙන්වා දිය හැකිය. එහෙත් එම ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරවීමට රජය අසමත් වූ අතර අවසානයේ දී එම කර්මාන්තවල අවසානය සිදු විය.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් සංවර්ධිත රටක් බවට සීග්‍රයෙන් පත්වීමට නම් ජාතික ආර්ථික ප්‍රතිපත්තියකට අනුව නිෂ්පාදන කර්මාන්ත සංකල්පය වහාම ක්‍රියාත්මක කළ යුතු අතර ඒ සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන් දිරිගැන්විය යුතුය. මේ සඳහා රජය සිය අවංක  කැපවීම තුළින් අවශ්‍ය මඟ පෙන්වීම කළ යුතු ය. නව ව්‍යවසායකයන් බිහි කිරීමට උපරිම දායකත්වයක් ලබා දිය යුතු ය.

සැකසුම – දමිත් රණසිංහ

Recommended For You

About the Author: Editor(A)