තෝ ද වික්කෙ

තෝ ද වික්කෙ

වික්කෙ මාමා කියන්නෙ ගමේම කයි කාරයා. තොරණක, කූඩුවක, සල්පිලක  එක පිම්මෙ කවි කියන්න දස්සයෙක් අහල ගම් හතේම ඉන්න නැතුව ඇති. නම වික්‍රම වුණාට හැමෝම කිව්වෙ වික්කෙ කියලා. කොටිම්ම කියනව නම් තරුණ කාණ්ඩෙ වික්‍රම කියන නම දැනංවත් හිටියෙ නැති තරම්. ඒ තරමට වික්කෙ නම රෙජිස්ටර් වෙලා.

වික්කෙ මාමා කයි කියන්න කලිං අඩියක් පුඩියක් ගහනවා. රූපක්කගෙ ජනේලෙං වෙල් ෆැන්ට වීදුරුවක් ගහල හවස් ජාමෙ පන්සල පැත්තට සේන්දු වෙනවා. වෙසක් නම් පොසොන් නම් ඉතිං තොරං, කූඩු  අස්සෙ තමා. හිටිවන කවි හිටගෙන පලනවා.

ඕං දවසක් දා වික්කෙ මාමා රූපක්කගෙ ජනේලෙ පෝලිමේ ඉන්නවා. අවුරුදු කිට්ටු නිසා පෝලිම සැරට. එක පාරටම ‘බරා…ස්’ ගෑවා. කව්ද එකෙක් කෑගැහුවා ‘බාප්පල..බාප්පල’ කියලා. බාප්පල කියන්නෙ පොලිස් රාළහාමිලට. එහෙම කියනව හෙම අහුවුණොත් කන්න වෙනව නල්ලසාදි වෙන්න. ජීප්පෙකෙන් හත් අට දෙනෙක් පැන්න එළියට. රූපක්කා ජනේලෙ වහලා අන්තරස්දාන වෙච්චි. පොලිමේ ලැගපු උං සීසීකඩ විසිවෙච්චි. දෙතුන් දෙනෙක් අහුවෙච්චි…!

වික්කෙ මාමත් ඒ කාණ්ඩෙ අස්සෙ. ජනේලෙට යටින් වලස්ඇඳිරිය පඳුර අස්සෙ හිප්ප තියං හිටපු වික්කෙ ගාවට ආපු රාළහාමි අහපි ‘තෝද වික්කෙ’ කියලා. ඉතිං වික්කෙත් කියපි ‘ඔව් සර් මම තමයි වික්කෙ’ කියලා.

‘එහෙනං නැගු ජිප් එකට’

කිසි කතාවක් නෑ වික්කෙ නැග්ග ජිප්පෙකට. අතරමග යද්දි තමයි හීන් සද්දෙට වගේ රාළහාමිගෙන් ඇහුවෙ ‘ඇයි සර් මාව අරං යන්නෙ?’ කියලා. පොල්ල උරුක් කරපු රාළහාමි,

‘තෝ පිළිගත්තට ලේසියෙං බේරෙන්න හිතන්නෙපා පුතෝ’

වික්කෙ ‘හිකි හිකි’ ගාපි

රාළහාමිට මළ පැනපි.

‘සෑර් මගෙ නමනෙ වික්කෙ’

-කේ. ඩී. දර්ශන-

Recommended For You

About the Author: Editor(A)