ඩුබායි හි දී කොටු වූ මාකඳුරේ මධූෂ් ඇතුලු පිරිස මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍යතාන්ත්‍රික වැඩපිළිවෙලක්

ප්‍රධාන පෙළේ පාතාල නායකයකු වන මාකඳුරේ මධුෂ් ඇතුලු 25 දෙනෙකු ඊයේ උදෑසන ඩුබායි හි හෝටලයකදී අත්තඩංගුවට පත් විය. ඒ සිය පුතුගේ උපන්දින සාදයට සහභාගී වෙමින් සිටියදීය.මෙම උපන්දින සාදය පවත්වා ඇත්තේ ඩුබායිහි පිහිටි තරු හයේ හෝටලයක වන අතර අදාළ වැටලීම සිදු කරනු ලැබූයේපොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, ඩුබායි පොලීසිය සමඟ සිදු කරනු ලැබූ ඒකාබද්ධ වැටලීමක් මගිනි. එමෙන්ම මෙයට අදාළ විමර්ශන කටයුතු මාසයක පමණ කාලයක සිට සිදු කරන ලද බව වාර්තා වේ.

මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන මාකඳුරේ මධූෂ් නොහොත් සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත නැමති තැනැත්තා සමඟ එම අවස්ථාවට සහභාගීව සිටි ලාංකීය ජනප්‍රිය ගායකයකු වන අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ද අත්තඩංගුවට පත්ව ඇත. එමෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන බෑන් රෝයන් ද මෙම පිරිස අතර සිට ඇත. තව ද මෙම අවස්ථාවට සම්බන්ධව සිටි ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයින් කිහිප දෙනෙකු ද අත්තඩංගුවට ගැනීමට සමත් වී ඇති අතර පසුගිය කාලයේ මාලිගාවත්ත ප්‍රදේශයේ මිනීමැරුම් කිහිපයකට සම්බන්ධ පතාල නායකයකු වන කංජිමාන් ඉම්රාන් ද එයට අයත්. අත්තඩංගුවට පත් වූ අනෙත් පාතාල සාමාජිකයන් වන්නේ කෙසෙල්වත්තේ දිනුක, අංගොඩ සුද්දා, රණාලේ චුට්ටා යන අයයි. අදාළ වැටලීමට සම්බන්ධ ප්‍රධාන පාර්ශවයක් වන පොලිස් විශේෂ කාර්ය  බලකායේ  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා සිය සේවයෙන් විශ්‍රාම ගැනීමට පැවති ඊයේ දිනයේ දී ඔහුගේ සේවා කාලය අවසන් වීමට පෙර මෙම වැටලීම සිදු කිරීමට හැකිවීම ද සුවිශේෂී  වේ. ඊයේ දිනයේ පැවති කැබිනට් හමුවේදී ජනාධිපතිවරයාගේ විශේෂ ඉල්ලීම මත ඔහුගේ සේවා කාලය තවත් වසරක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

එමෙන්ම මත්ද්‍රව්‍ය පරිභෝජනය සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඩුබායි හි නීතියට අනුව අපරාධමය වරදක් වන අතර එහි උපරිම දඩුවම වන්නේ මරණ දන්ඩණයයි. ප්‍රධාන අපරාධ රැසකට සම්බන්ධ පාතාල නායකයකු වන මධුෂ් එල්.ටී.ටී.ඊය සමඟ සබඳතා පවත්වා ඇති අතර ප්‍රභූවරයෙකු ඝාතනය කිරීමට උදවු කර ඇති බව ද හෙලි වී තිබේ. ඩුබායිහි සිට මෙරට අපරාධ සහ මිනී මැරුම් මෙහෙයවීම සිදු කර ඇති මොහු විසින් පොලිස් නිලධාරියෙකුට  දුරකතන මගින් මරණ තර්ජනයන් පවා සිදු කර ඇත.තවද කලුතර එතනමඩන ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා සමයං ඇතුලු පාතාල සාමාජිකයන් පස්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධ සිද්ධිය අංගොඩ ලොක්කා හා සම්බන්ධව සංවිධානය කිරීම මොහුට එරෙහිව ඇති ප්‍රධාන චෝදනාවකි. එමෙන්ම රිය අනතුරකින් මිය ගිය සිය පියාගේ සූරියවැව ප්‍රදේශයේ දී පැවැත්වූ අවසන් කටයුතු සඳහා ගුවනින් මල් ඉසීම සම්බන්ධයෙන් ද මධුෂ් පිළිබඳ සමාජයේ කතාබහට ලක් විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනනය කිරීම පිළිබඳ කුමන්ත්‍රණය හෙළිකල දූෂණ විමර්ශන බලකාය ද ප්‍රකාශ කරන ලද්දේ එයට මාකඳුරේ මධුෂ්ගේ සම්බන්ධයක් ඇති බවයි. එමෙන්ම මේ ආකාරයට ශ්‍රී ලංකාව තුල මෙතෙක් සිදුව ඇති මිනීමැරුම් සහ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මධුෂ් සහ ඔහු සමග අත්තඩංගුවට පත් වූ  25 දෙනා මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට රාජ්‍යතාන්ති‍්‍රක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

විදෙස් සහ ආරක්ෂක අමාත්‍යාංශ මට්ටමින් එය සිදුකරන බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා පැවසා ඇත.

ඊයේ (05) අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීම් ද සිදුව ඇති අතර මෙම පිරිස මේ වනවිට ඩුබායිහි බන්ධනාගාර සිර මැදිරියක රඳවා සිටින බව ද වාර්තා වේ.

තවද අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ රුධිර සාම්පල ද ලබාගෙන ඇත.

මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය, ඩුබායි මාධ්‍යය ද ප‍්‍රමුඛ පුවතක් ලෙස වාර්තා කර ඇත. ඒවායේ දැක්වෙන්නේ ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය අපරාධකරුවෙකු සිය රටේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම ඔවුන් සතුව තිබී මත්ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් ද සොයාගත් බව ඩුබායි මාධ්‍ය මගින් වාර්තා කර ඇත.

Recommended For You

About the Author: Editor(A)