කවිකම් මැනීම

කවිකම්  මැනීම

කවීන්ගේ කවිකම් මැනීම පහසු  කටයුත්තක් නොවේ. එය හුදු යාන්ති‍්‍රක මිනුම්දඬුවලින් ඔබ්බට යන රස වින්දනාත්මක කාර්යයකි. ඒ සඳහා උචිත වූ මිනුම් දඬු ද ඒ ඒ කවීන්ගේ කවිකමේ ගෙල සිඳලන්නක් නොවීම බෙහෙවින් වැදගත්ය. විවිධ අවධීන්හි දී නොයෙක් සිංහල කවීන්ගේ නිර්මාණ විචාරයට භාජන කරනු වස් ලියවුණු කෘති ක‍්‍රමයෙන් පාඨකයන් කරා සමීප වී ඇත. ඒ අතර මහාචාර්ය ආරිය රාජකරුණාගේ නූතන සිංහල කාව්‍ය -1, -2  යන කෘතීන් ද්වය බෙහෙවින් රසාලිපිත වූ මංපෙත් ඔස්සේ සහෘදයන් කැඳවාගෙන යාමට සමත් වන ග‍්‍රන්ථ වේ. 1961 වර්ෂයේ පළමු වරට ප‍්‍රකාශයට පත් වූ මෙම කෘති එසමයට අදාළ අනෙකුත් විචාරකයන්ගේ මතවාද හා සමගාමීව බැලූ කල ප‍්‍රබල ස්වීයතාවක් ප‍්‍රකට කරන බව නිසැකය.  නූතන සිංහල කාව්‍ය -1 කෘතියෙහිලා ආනන්ද රාජකරුණා, ඇස්. මහින්ද හිමි, ජී. එච්. පෙරේරා, මුනිදාස කුමාරණතුංග, රැපියෙල් තෙන්නකෝන්, ජී. බී. සේනානායක, ගුණදාස අමරසේකර හා සිරි ගුනසිංහ යන කවීන්ගේ නිර්මාණ විචාරයට භාජන කෙරේ. තත් විචාර චින්තා බෙහෙවින් නිරවුල්ය. අර්ථ ගාම්භීරත්වය හා සංකීර්ණතාව විචාරයක දී බැහැර කළ හැක්කක් නොවන නමුත් ආයාසයෙන් ගළපන ලද දුරවබෝධ වදන් හරඹ කියවීමේ දී නම් ඉවසීමේ සීමාව වහා බිඳෙනසුලූ වෙයි. එහෙත් ඇතැමුන් දුරවබෝධ සංකීර්ණතාව ඇසුරින් විස්මයාවහ චමත්කාරයක් ජනිත කිරීමට සමත්වන අවස්ථා නැතුවාද නොවේ. එහෙත් මාර්ටින් වික‍්‍රමසිංහ, ජී. බී. සේනානායක මෙන් ම ආරිය රාජකරුණාගේ විචාර කියවන කලට නිතැතින් ම හැඟෙන්නේ අපහට නිරන්තරයෙන්  මගහැරුණු ඒ සරල චිත්තාකර්ෂණීය රීතිය නම් මෙය මැයි යනුවෙනි. සංස්කෘති ප‍්‍රකාශන සංගමයේ සංවිධායක අමරදාස වීරසිංහයන් දුන් උපදෙසක් එවිට මතකයට නැගෙන්නේ නිරායාසයෙන්මය. ”මොකද මේ හුඟක් අමාරුවෙන් වගේ ලියන්නෙ. පුළුවන් තරම් සරලව ලියන්න හුරුවෙන්න.” ඒ සරල බව හුදු  මතුපිටින් ලිවීමක් නොවේ. ගැඹුරු දෑ නිරවුල්ව ලිවීමකි. කියවන්නාගේ පැහැදිලි මානසිකත්වය ආරක්සා කිරීමට කැප වීමකි. සිරි ගුනසිංහ ලියූ මුඩුක්කුවේ අ`දුර කාව්‍ය නිර්මාණය විචාරයට බඳුන් කරන රාජකරුණා මෙසේ පවසයි.

”ගණිකාවගෙන්  ‘උනුසුම’ ලබා ගැනීම ඉතා ලෙහෙසි පහසු දැයක් බව රසවත් ලෙස කියවෙයි.                                                  බුලත් හපය මා සිරුර ඔබේ අත

                                    නිවන් සැපය ඇත රුදුරු ඔබේ සිත

‘බුලත් හපය මා සිරුර ඔබේ අත’ යනු අලූත් යෙදුමකි. ගණිකාවගේ සිරුර තාඩන  පීඩනවලට භාජන වී හපයක් බවට පත්වන බව වේගවත් ලෙස කියවෙයි. රුදුරු ලෙස ඇගෙන් ‘නිවන් සැපය’ පතන බව කියවෙයි.”

මාර්ටින් වික‍්‍රමසිංහ තත් කාව්‍යෝක්තිය විචාරයට භාජන කර තිබුණේ ”බුලත් හපය හසුවන්නේ කටට මිස අතට නොවේ. අතට හසුවූ සැණින් එය විසිරී යයි” යනාදි වශයෙනි. එහෙත් රාජකරුණාගේ අදහස ඊට වෙනස්ය. මෙසේ එකම කරුණක් අරභයා විවිධ මතවාද පැවතීම බෙහෙවින් සාධනීය තත්ත්වයකි. ගණිකාවකගෙන් නිවන් සැප පැතීම බෙහෙවින් ම උත්ප‍්‍රාසවත් අදහසක් වන්නේ නිවන පිළිබඳ පවත්නා ආගමික මුහුණුවර පිළිබඳ ව අවධානය යොමු කිරීමේදීය. රාජකරුණා ඒ කිසිත් අවධාරණය නොකරයි. එහෙත් ඔහු  ‘නිවන් සැපය’ යන්න කොමා තුළ දක්වමින් කෙරෙන විශේෂ අවධාරණයෙන් කවියෙන් කියවෙන නිවන සැපෙහි පවත්නා විශේෂත්වය හුවා දැක්වේ. විචාරය හුදු කරුණු විභාගයකින් ඔබ්බට ගමන් කරන නිර්මාණාත්මක හා රසාලිප්ත කාර්යයක්බව එබඳු සියුම් කාරණාවන්ගෙන්  සනාථ වේ.

නූතන සිංහල කාව්‍ය-2 කෘතිය පූර්ණ වශයෙන් ම වෙන්වී ඇත්තේ කොළඹ දෙවන පරපුරේ කවීන්ගේ නිර්මාණ විමර්ශනයටය. පී. බී. අල්විස් පෙරේරා, මීමන කේ. පේ‍්‍රමතිලක, කේයස්, විමලරත්න කුමාරගම, බී. එච්. අමරසේන, එච්. එම්. කුඩලිගම හා ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහ කෙරෙහි එහිලා අවධානය යොමුකෙරේ. කොළඹ දෙවන පරපුරේ කවීන්ගේ නිර්මාණයන්හි භාෂාවේ, වස්තු විෂයයේ, ආකෘතියේ ඒකාකාරීත්වය පිළිබඳ බෙහෙවින් කතිකාවට ලක්ව ඇති නමුත් පහසුවෙන් සාමාන්‍ය පාඨකයාගේ හෘද සන්තානය අරක් ගැනීමට එබම නිර්මාණ ප‍්‍රකට කළ සමත් බව ද නොතකා හැරිය නොහේ. රාජකරුණා ඔවුන්ගේ කවිකම් මැදහත්ව විචාරයට බඳුන් කරයි. ඇතැම් විට ඒ ඒ නිර්මාණයන් සඳහා මූලාශ‍්‍රය වූ ඉංගී‍්‍රසි කවි කරා ද ගමන් කරයි. සන්සන්දනාත්සක විග‍්‍රයන්ට ද උත්සුක වෙයි. ඒකාකාරීත්වය හා ගතානුගතික බව බැහැර කරයි. පී. බී. අල්විස් පෙරේරා ලියූ මිනිපාන කාව්‍ය නිර්මාණය විචාරයට ලක්කරමින් ඔහු මෙසේ පවසයි.

”උපමා රූපක සොයන කවියාට ‘මල්’ පිහිටට සිටියි. චිත්රා කැකුලූ සියපත විකසිත වෙයි. සවන් මල්පෙති වැනියි. කොපුල්තල පියුමකට සමානයි. ඇගේ දසරුව ‘දිව කුසුම් බර කල’ මලස්නකි. ‘කුසුම් බර කල’ යනු අධිකයි. මලස්න මල්වලින් යුක්ත බව කිය යුතුද? වටොර මල් යහනකි. ‘පා පතුල්’ රත් පියුමකි. එකම උපමාව නැවත නැවතත් යොදයි.  ‘තුනුසපුව’ දිය සොරොව්වකට සමාන කෙරේ. ‘තුනුගඟ’ ද එසේ මැයි. උකුල පෙන ගොබයකි. සුන්දර හැඟීම් ජනිත නොකරන උපමාවකි.” 

මෙසේ ඇතැම් ගතානුගතික වර්ණනාවන්හි ස්වභාවය යථා පරිදි පිරික්සීමට විචාරකයා සමත් වේ.  මෙබඳු කාරණා සිරි ගුනසිංහ, ගුණදාස අමරසේකර වැනි විචාරකයන්ගේ විවේචනයට ලක් වූයේ මීට වඩා දැඩි ස්වරයෙනි. රාජකරුණා කොළඹ දෙවන පරපුරේ බොහේ කවීන්ගේ නිර්මාණයන්හි ගැබ්වන සුලබ යෙදුම්  විවේචනයට ලක්කරන අතරතුරේ නිර්මාණාත්මක ශක්‍යතාවක් විශද කරන්නා වූ අපූර්ව කාව්‍යෝක්ති ඇගයීමට ද පසුබට නොවන අවස්ථා මෙම ග‍්‍රන්ථය මුළුල්ලෙහිම ගැබ් වේ.

මීට  අඩසියවසකට පෙර මෙසේ  කවිය පිළිබඳ ගොඩනැගුණු ප‍්‍රබල කතිකාවත්හි ස්වරූපය පැහැදිලි ව හඳුනාගත හැකිය. වර්තමානය වන විට ඉතා සුලබ ලෙස කාව්‍ය ග‍්‍රන්ථ ප‍්‍රකාශනය වේ.  ඒ  අරබයා විද්වත් සංකථන ගොඩනැගෙන්නේ අල්ප වශයෙනි. එහෙයින් නූතන කවින්ගේ කවිකම් මැනීමේ දුෂ්කර අභියෝගය අප ඉදිරියේ පවත්නා බව නිසැකය. ඒ සඳහා මිනුම් දඬු සැකසීමේ දී අගතිගාමීත්වයෙන් මිදීමත් පූර්ව විචාරකයන්ගෙන් උචිත දෑ පමණක් අදාළ කරගැනීමත් යෝග්‍ය වේ. කලින් කලට අත්දැකීම් පෘථුල වෙයි. වෙනස් වෙයි. ඒ අනුව කාව්‍ය නිර්මාණයන්හි වස්තු විෂය මෙන්ම ආකෘතිය ද විපර්යාසයන්ට භාජන වෙයි. ඒ සියල්ල කෙරෙහි සවිඤ්ඤාණික වෙමින් නූතන කවීන්ගේ කවිකම් මැනීමට පෙළඹීම වැදගත් වේ. ආරිය රාජකරුණා නූතන සිංහල කාව්‍ය -1, -2 යන කෘතීන් ද්වයෙන් පෙන්නුම් කරන මධ්‍යස්ථ විචාරකයකුගේ මුහුණුවර අවිච්ඡින්න ව ආරක්ෂා කරගැනීම බෙහෙවින් වැදගත් වන්නේ එහෙයිනි.

චින්තා පවිත‍්‍රානි

Recommended For You

About the Author: Editor(A)