එදා වැහිබර අඳුරු දවසක්…….!

(ඡායාරූපයේ දැක්වෙන්නේ මරාදැමූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගයන්ගේ ආදරණීය පුත්‍රයා තම පියාගේ මෘතදේහය දෙස බලා සිටින අයුරුයි.)

වෙඩි උණ්ඩ කියන්නේ තාත්තේ
සටන්කාමී පපුවලට කිදා බැස
හාර හාරා පාර පාරා හෘදය සොයා
අසුරු සැණෙකින්
සිපගන්න දෙතොලක්

හරි වෙහෙසකින් එහෙම පපුවක්
හොයාගන්නව දිනක මූණිස්සමක්…..

අඬන්නෙත් නෑ මම
තැවෙන්නෙත් නෑ මම
හැබැයි හිනාවෙනවා හිත යටින්
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී
ජනරජයට…………..

මිනීමරුවන් රඟන දඩබිම
අයුක්තිය ඔඩු දුවන පොළවක
නළුවන් බෝ වෙවී
වීරයන් මියයන එකයි දුක………..

තාත්තේ නැගිටින්න
වෙඩි උණ්ඩ ගිණි පුපුරු කොණහන්න
බැරිමනම් නිදියන්න………..
මං ඉන්නවා ළඟ
හිතුනු වෙලේක ඇහැරෙන්න ……….!

ඉඟුරු අමුකහ අරත්ත
කැතිගාල පෙතිකපල වලලනව දුකයි
හැබැයි වැහිවතුරෙ යම් දිනක
ඒව නැවතත් දළුලනව හැඩයි
තාත්තේ ඇටමිඳුළු සම්නහර ඉරෙයි
ඒ අස්සෙ මතුවෙන්නෙ
ආදරය තමයි……………!!

ඉහගන්ඩ බෑ මට
මිනී සෙන්ටි බෝතලය
හද දර සෑයෙ රත්කරමි
කඳුළු පිරි කේතලය…………!!!

– නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් –

Recommended For You

About the Author: Editor(A)