අප නොරක්නා උරුමය හා නව වමට මාලිමාවක්

ලංකාවේ සමකාලීන වාමගාමී දේශපාලනය ඉදිරිපිට තියෙන මූලික මාවත් තුනක් මෙසේ නම් කළ හැකිය.

1. කම්කරු ඇතුළු සමාජ පහල මාලයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මූලික කරගත් ජන උද්ඝෝෂණ සක්‍රීය කිරීම.(මෙහි පුළුල් අරමුණ වමේ මධ්‍යස්ථානයක් හෝ වමේ බලයක් නිර්මාණය කිරීම යැයි කියැවේ.)

2.ව්‍යවස්ථාපිත නෛතික ප්‍රජාතන්ත්‍රවාදය සමග පොදු මහජනයාට ඇති සමාජ ගිවිසුම බලාත්මක කිරීම. (මේ යටතේ පුරවැසි සිවිල් සමාජ දේශපාලනය රැඩිකල්කරණය කිරීම, ජනතා පරමාධිපත්‍යයට යටත් මැතිවරණ දේශපාලනය හා පරිහානියට පත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පුනර්ජීවනය කිරීම අපේක්ෂිතය)

3.සංස්කෘතික හා බුද්ධිමය වශයෙන් ලාංකේය සමාජය ශිෂ්ටකරණය කිරීමේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ගොඩනැගීම. (විශේෂයෙන් ග්‍රාමීය පසුගාමිත්වය විසින් නාගරික සංස්කෘතිය යටපත් කිරීමේ ඉතිහාසයට එරෙහිව නාගරික සංස්කෘතික නව්‍යත්වය විසින් ග්‍රාමීය වැඩවසම් චින්තනය විපර්‍යාසයට ලක්කිරීම.වෙනත් ආකාරයට කිවහොත් ලාංකේය පන්නයේ ‘නව ජැකොබියන් ව්‍යාපාරයක්’ )

ඉහත පළමුවැන්න සදහා වමේ පක්ෂ හා සංවිධාන බොහොමයක් මේ වනවිට සක්‍රීය දේශපාලනයක නිරතව සිටියි. එහෙත් දෙවැන්න පිළිබඳ ජනප්‍රිය කතිකාවක් පැවතුනද එය වාම උපායමාර්ගික දැක්මකින් යළි අර්ථකතනය වීමක් නැත. නැතහොත් පෙර වමේ බහුතර පාර්ශ්වය මේ අඩවිය ලිබරල් දක්ෂිණාංශික කඳවුරට නිතරගයෙන් ලියා දී ඇත. තුන්වැන්න සම්බන්ධයෙන් වාමගාමී දේශපාලනයට ඉදිරි දැක්මක් හෝ මූලෝපායක් නොමැත. පැරණි x කණ්ඩායම මේ අභිලාෂය මුලින් ප්‍රදර්ශනය කළද පසුව ගෝත්‍රිකත්වයට හා මධ්‍යම පංතික හීනමානයට යටවී අභාවප්‍රාප්ත විය.


අද දවසේ විමුක්ති දේශපාලනය යනු මේ මාවත් තුන සම්බන්ධීකරණය කරගත් ව්‍යාපාරයක විය හැකියාවයි. එකී මාවත් තුන සිතියම් කරගත් නව කතිකාවක් ගොඩනැගීමයි. එහි පළමු පියවර වන්නේ දැනට ‘වම’ යනුවෙන් වන අදහස යළි අර්ථකථනය කිරීමයි. එහි සීමිත අර්ථය පුළුල් කිරීමයි. ඒ සම්බන්දයෙන් වාම සහෝදරත්වයට ඇති අධානග්‍රාහී දුර්මත හා දෘෂ්ටිවාදී අගතීන් විවෘතව පැහැදිළි කරගැනීමයි; හෙවත් පැහැදිළි කරගැනීමට විවෘත වීමයි.

-විදර්ශන කන්නංගර-

Recommended For You

About the Author: Editor(A)