අධ්‍යාපනයේ අර්බුදය ගැන සංක්ෂිප්ත අදහස් දැක්වීමක්..,

මෙරට පාසැල් අධ්‍යාපනයේ පුළුල් ප්‍රතිසංසකරණයක් අවශ්‍ය වී තිබේ. ටියුෂන් කඩ ඔස්සේ සිදු කෙරෙන අධ්‍යාත්මික විනාශය ඉමහත්ය. (ඒ සඳහා පාසැල් ගුරුවරු රැසක්ද දායක වෙමින් තිබේ).

මෙරට බොහෝ පාසැල් සැබවින්ම ප්‍රායෝගිකව අක්‍රීය වී අවසන්ය. මට මෑතක අසන්නට ලැබුණු පරිදි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ උසස් පෙළ සිසු සිසුවියන් උසස් පෙළ විභාගය ඇරඹීමට මාස තුන හතරක සිට පාසැල් යන්නේ නැත. සෙසු ප්‍රදේශවල තත්ත්වය ගැනද සොයා බැලිය යුතුය. අධ්‍යාපනය නග්න වෙළඳපල තරඟකාරීත්වයේ ගොදුරු බිමක් වී තිබේ. මේ අධ්‍යාපන ක්‍රමයෙන් සිසු සිසුවියන් පුහුණු කරන්නේ ”සියල්ලන් සියල්ලන්ට එරෙහි යුද්ධයක” නිරත වන හොබ්සියානු ඊනියා සොබාවික තත්ත්වයකටය (natural state).

නිර්මාල් දේවසිරි මිතුරා ද අවධාරණය කොට තිබූ පරිදි පාසැල් ගුරුවරුන්ගේ වැටුප් ද විශාල වශයෙන් වැඩි කළ යුතුව පවතී. පාසැල් ගුරුවරුන් සහ විශ්ව විද්‍යාල ගුරුවරුන් අතර වැටුප් පරතරය දැන් ඉතාම පුළුල් වී තිබේ. එය සාධාරණ නැත. ගුරුවරුන්ගේ වැටුප් වැඩි නොකර ටියුෂන් ප්‍රශ්නය විසඳීම ද අසීරුය. වැටුප් වැඩි කිරීමට සමාන්තරව වගකීම් සහ වගවීම් ක්‍රියාවලියද ශක්තිමත් කළ යුතුය.

ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර පවතින පීඩක සම්බන්ධතා වෙනස් කිරීම මෙවන් පුළුල් ප්‍රතිසංස්කරණයක අත්‍යවශ්‍ය අංගයකි. මෑතකදී සිසු දරුවෙකුට ශාරීරිකව හිංසා කිරීමට වරදකරු වූ ගුරුවරියකට අධිකරණය දඬුවම් නියම කොට තිබේ. එය අගය කළ යුතු තීන්දුවකි. ශික්ෂණයේ මාධ්‍යයක් ලෙස ශාරීරික හිංසනය යොදා ගැනීම කෙසේවත් අනුමත කළ නොහැක.


නමුත්, මා මිත්‍ර විදර්ශන කන්නංගර සහ සජීවනී අබේකොන් පෙන්වා දී ඇති පරිදි මෙරට පාසැල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශාරීරික හිංසනය පිළිබඳව ඇති ගතානුගතික ආකල්ප වෙනස් වී නොමැත. මේ පිළිබඳව ගුරුවරුන්ට පමණක් වරද පැටවිය නොහැක. මා මිත්‍ර දර්ශන අශෝක කුමාර මනාව පැහැදිලි කරන පරිදි මේ ගුරුවරුන් බහුතරයකට අධ්‍යාපන මනෝ විද්‍යාව පිලිබඳ පුහුණුවක් ලබා දීමේ වැඩ පිළිවෙලක් නොමැත. එසේම ඔවුනට මානව අයිතීන් සහ නූතන ලෝකයේ ප්‍රජාතාන්ත්‍රික හරයන් පිළිබඳ පුහුණුවක් ද අවශ්‍යය. ඔවුන්ට නව අදහස් මුණ නොගැසෙන කල ඔවුන් කරන්නේ තමන් දන්නා දෙයයි. එනම්, තම පවුලෙන්, වැඩිහිටියන්ගෙන් සහ පොදුවේ පසුගාමී සමාජ සම්ප්‍රදායන් කෙරෙන් උගත් දෙයයි.


ඓතිහාසිකව ගත් කල මේ ප්‍රශ්නයේ මූලය ඇත්තේ නාගරික සංස්කෘතිය ගමට රැගෙන යාමේ ලාංකීය ජැකොබින් ව්‍යාපාරයක් නොමැති වීම තුළය. එවිට නාගරිකව ආකෘතිගත කරන අධ්‍යාපනය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ ග්‍රාමීය සදාචාර ඉගැන්වීම් ගුරු කොට ගනිමින්ය. මේ අරුතින්, ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සම්බන්ධයෙන් ලාංකීය පාලක පංතියේ අසමත්කම ද මේ ප්‍රශ්නයට ඈඳී තිබේ.

 
මෙහිදී වම කළ යුත්තේ කුමක්ද? වෙනත් සංධර්භයකදී අප පෙන්වා දී ඇති පරිදි අද අපට අවශ්‍ය වාම-ජැකොබින් ව්‍යාපාරයකි. එනම් වාමාංශික ශිෂ්ටත්ව ව්‍යාපෘතියකි. 1960 දශකයෙන් පසුව ග්‍රාමීයකරණය වූ වම වෙනුවට නාගරික වමකි. ලක්මාලි හේමචන්ද්‍ර සහ රමිඳු ලක්ඛික පෙරේරා  නිවැරදිව පවසා ඇති පරිදි, එහිදී වම සිටගත යුත්තේ පීඩකයා සමග නොව පීඩිතයා සමගය; ගතානුගතිකත්වය සමග නොව නව්‍යකරණය සමගය; ගෝත්‍රික දඬුවම් ක්‍රම සමග නොව ශිෂ්ට අයිතීන් සමගය.
මෑතකදී මතු වූ නඩු තීන්දුව සම්බන්ධ ප්‍රශ්නයේදී ජවිපෙ සහ පෙසප පීඩනයට ලක් වූ සිසුවාගේ පැත්ත වෙනුවට දඬුවමට ලක් වූ ගුරුවරියගේ පැත්ත ගෙන තිබේ නම්, එය කණගාටුදායකය. මේ ප්‍රශ්නය සමග අප ගණුදෙනු කළ යුත්තේ මෙමගින් හැඩ ගැසෙන සමාජ සංවාදය කෙරෙහි සංවේදී වෙමින්ය. කෙනෙකු කුමන සුවිශේෂී හේතූන් මුල් කරගෙන ඉහත දඬුවම හෙළා දකිනු ලැබූවද ඒ මැදිහත්වීම මගින් සෘජුව හෝ වක්‍රව ගෝත්‍රික දඬුවම් ක්‍රමවලට යුක්ති සහගතභාවයක් ලබා දීමේ කතිකාව පෝෂණය වේ.
වම මේ ප්‍රශ්නයේදී ඉක්මනින් වාම ස්ථාවරයට මාරු වනු ඇතැයි අපේක්ෂා කරමි.

– කථිකාචාර්ය සුමිත් චාමින්ද-

Recommended For You

About the Author: Editor(A)