හීන අද්දර – 01

ජීවිතය කියන්නේ කතාවක්. දුක , සතුට, වගේම හරි පුදුම දේවල් ඒ කතාවෙ තියෙනවා. මගේ කතාවත් ඒ වගෙයි. හිතේ මොකක්දෝ අසරණකමක් දැනෙද් දි ඒ ගැන කාත්එක්ක හරි කියලා හිත නිදහස් කර ගන්න ඕනෙ. හැබැයි තමන්ට දැනෙන, තමන් ගැන ටිකක් හරි හිතන කෙනෙක් ට.  එහෙම කෙනෙක් නැති වුණාම…….?  ඔව් ,  අපි තවත් අසරණ වෙනවා. කාත් කවුරුත් නැති රටක තනි වෙන්න හිත හදා ගත්ත මට ඒ තනිකම , වේදනාව දරා ගන්න අමාරුවෙන්නේ කොහොමද කියලා එක වෙලාවක ට මගේ හිතින් මම ප්‍රශ්න කරනවා. ඉතින් මම හිතුවා ලියන්න. මගේ වේදනාව.

අපි හැමෝටම හීනයක් තියෙනවා.හීන නැති කෙනෙක් මට හම්බෙලා නෑ. මටත් තිබුණා හීනයක්. ඒත් ඒක හීන ගොඩක එකතුවක්. මම හරි ආසාවෙන් හිටියේ නැටුම් ගුරුවරියක් වෙන්න. සාමාන්‍ය පෙළට මං හුඟක් මහන්සි වුනේ ඒ නිසයි. අනිත් කතාවල වගේ බීගෙන ගෙදර ඇවිල්ලා බඩු පොළවෙ ගහන්නවත් මට තාත්තා කෙනෙක් හිටියේ නෑ. ඉතින් මට “තාත්තා” කියන්නේ අකුරු තුනක වචනයක් විතරයි. ගෑනු ළමයෙක්ට පිරිමියෙක්ගෙන් ලැබෙන පළමු ආදරය හම්බෙන්නේ තාත්තගෙන්. මට ඒ වාසනාව තිබුණෙ නෑ. ඒත් මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. මොකද ඒ දවස්වල නිතරම අපේ ගෙදරට ආ ගිය මාමලා මට ඒ අඩුව තේරෙන්න දුන්නේ නෑ. ඒත් මට දේවල් තේරෙද්දි මම ඒ අයට වෛර කරන්න පටන් ගත්තා. මොන ප්‍රශ්නෙ තිබුණත් ඒවා ගෙදර තියලා ඉගෙන ගත්තේ අම්මා ගැන ගමේ මිනිස්සු කියන අපවාදවලින් ගැළවෙන්න. යාලුවන්ගෙ උදව් කොච්චර හම්බුණත් මගේ අම්මා නරක ගෑනියෙක් කියන වචනේ මට ඉඳහිට ඇහුණා. හැබැයි මගෙ අම්මා කවදාවත් මාව බඩගින්නේ තියලා නෑ.සමහර දවස්වලට මහ රෑට අම්මා කාටවත් ඇහෙන්නෙ නැති වෙන්න අඬනවා. ඊටපස්සෙ මං ගාවට ඇවිත් මාව තුරුල් කරන් නිදා ගන්නවා. මම අම්මගෙන් කවදාවත් අහලා නෑ ඇයි අම්මා අඬන්නෙ කියලා. ඒ ඇයි කියලා මම දන්නෙ නෑ.

මම 10 පන්තියෙදි තමයි උදයංග අයියව හම්බෙන්නේ. එයා හුඟක් හොඳ කෙනෙක්. ශිෂ්‍ය නායකයෙක්. මට ඉගෙන ගන්න ආසාව ඇති කළේ එයා. එයා එතකොට හිටියෙ උසස්පෙළ පන්තියේ. ගෙදර ප්‍රශ්න නිසා හැමවෙලේම රිදිච්ච මගේ හිතට එයා භාවනවක් වුණා. මොනදේ වුණත් අපි ආසාවෙන් ඉගෙන ගත්තා. එයා කැම්පස් තේරුණාම දැනිච්ච සතුට මගේ හිතේ ඇතිවුණ භය නිසා පේන්න නැතුව ඇති. ඇත්තටම ඒක මගේ නපුරුකමනම් නෙවෙයි. මේ ලෝකෙ මට ආදරය කළ කෙනෙක් නැති වුණාම ඇතිවන වේදනාව මට පළවෙනි වතාවට දැණුනා. එයා තේරුණේ පේරාදෙණියට. කැම්පස් තේරිලා කියලා ලියුම ආපු දවසේ එයා මට යාලුවෙක් ඇතේ ලියුමක් එවලා තිබුණා හම්බෙන්න මාව ඕනෙ කියලා. ඒ උනාට මට එයාව හම්බෙන්න යන්න පුළුවන් කමක් තිබුණේ නෑ.මොකද මම සාමාන්‍ය පෙළ ලියලා ගෙදර ඉන්න දවස්. අම්මා ගාමන්ට් එකේ වැඩට යන නිසා මම ගෙදරට වෙලා හිටියා. එහෙම දවසක තමයි සඳලි එක්ක උදයංග අයියා අපේ ගෙදර ආවෙ. මම උදයංග අයියට ආදරේ කළ බව ඇත්ත. ඒත් එයා මේ විදිහට කවුරුත් නැති වෙලේ ගෙදරට ආවම මට පුංචි භයකුත් හිතුණා. ඒත් එයා හොඳ කෙනෙක් නිසා මම අකමැත්තක් පෙන්නුවේ නෑ.

සඳනි අක්කා අපිට කතා කර ගන්න කියලා එළියට ගියා. හැබැයි එයා මට බොරු කියලා ගෙදරම ගිහින් තිබුණා. උදයංග අයියා කිව්වා හෙට උදේම එයා නුවර යනවා කියලා. මගේ ඇස් ඉස්සරහම මගේ මුළු ලෝකෙම කඩා වැටුණේ ඒ වචනවලට. මට පුළුවන් වුණේ අයියට තුරුල් වෙලා අඬන්න විතරයි. එයත් අඬනවා දැණුනම මම හිත හයිය කර ගත්තා. පැයක් විතර අපි එහෙම ඉන්න ඇති. මට කතා කරන්න වචන තිබුණේ නෑ. ඒ ආදරයට අවනත වෙනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. ජීවිතේ කවදාවත් නොදැණුන හැඟීමක් ඒ උණුහුම එක්ක තිබුණා. ඒත් එයා මට කිසිම වැරැද්දක් කළේ නෑ. මගේ නළලට හාදුවක් දීලා “හොඳට ඉගෙන ගන්න. ඔයා කැම්පස් එනකන් මම බලාගෙන ඉන්නවා” කියපු උදයංග අයියා යන්න ගියා. හැම සතියෙම මට ලියන්න පොරොන්දු වුණාට මට පුළුවන්නම් විතරක් ලියන්න කියලා අහිංසක ඉල්ලීමක් කරලා එයා ගියේ මට ලොකු බලාපොරොත්තුවක් දීලා. දුර ඈත පුංචි තිතක් වෙලා එයා නොපෙනී යනකන්ම බොඳ වෙච්ච ඇස්වලින් මම පාර දිහා බලන් හිටියා.

දුක වගේම සතුට ජීවිතේට එකම වෙලාවක ලැබෙන එක හරි පුදුමයි නේද? හැබැයි බලාපොරොත්තුක් ඇති වෙද්දිම බලාපොරොත්තුවක් නැති වෙන එක. ඇත්තටම මම පව්කාරියක්. උදයංග අයියා ගිය ගමන් වත්ත පහළින් සමන්ත අයියා  මතු වුණා.

ආහ් නංගි … අපිට චාන්ස් නැද්ද?

සමන්ත අයියේ , මොනවද ඔයා මේ කියවන්නේ. අම්මත් නෑ ගෙදර .. ඔයා මොකද මෙතන කරන්නේ..??

මට ගෙදර දොර වහගන්නවත් වෙලාවක් හම්බුණේ නෑ.. නරුමයෙක් වගේ ගෙට පැනපු සමන්ත අයියා මගේ අත හයියෙන් අල්ල ගත්තා. මට පුළුවන් වුණේ කෑ ගහන්න විතරයි. මගේ කට අතින් තද කර ගත්ත ඒ පාපතරයා හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා.

                                    – මතු සම්බන්ධයි –

Recommended For You

About the Author: Editor(A)