වතු කම්කරු වැටුප් ප්‍රශ්නයට විසඳුම; ප්‍රාග්ධනයේ හා ශ්‍රමයේ දෘෂ්ටියෙන්

කථිකාචාර්ය සුමිත් චාමින්ද

පවතින තාක්ෂණයේ සහ පලදායකත්වයේ මට්ටම අනුව කම්කරුවන්ට වැටුප් වැඩි කළ නොහැකි නම් එය වතු හිමියන්ගේ ප්‍රශ්නයකි; කම්කරුවන්ගේ ප්‍රශ්නයක් නොවේ. පලදායිතාව අඩු වීමට වග කිව යුත්තේ වතු හිමි සමාගම්වල කළමනාකරණයේ දුර්වලතා සහ අකාර්යක්ෂමතාවය.
එස්.බී.ඩී දි සිල්වා බොහෝ කලකට පෙර ඉතාම තියුණු ලෙස පෙන්වා දුන් පරිදි අපේ රටේ වතු වගාව පවා ධනේශ්වරකරණය වී නොමැත. වාණිජ ප්‍රාග්ධනයේ බලයට වතු අංශයේ නිෂ්පාදනය යට වී තිබේ. මේ ප්‍රශ්නය මේ රටේ ධනවාදී සංවර්ධනය පිළිබඳ ඉතාම මූලික ගැටළුවක් ලෙස මතු කළේ එස්.බී.ඩී ය. වතු කම්කරුවන්ගේ වැටුප් අරගලයට සමාන්තරව අපේ රටේ බිහි වූ විශිෂ්ටතම දේශපාලන අර්ථ ශාස්ත්‍රවේදියාගේ කෘතීන්ද අප කියවිය යුතුය. ඔහු ඉතාම නිවැරදිව පෙර දුටු පරිදි වතු අංශය දැන් ව්‍යුහාත්මක අර්බුදයකට පත්ව තිබේ.
ප්‍රාග්ධනයේ දෘෂ්ටියෙන් ගත් කල මේ අර්බුදයට විසඳුම ඇත්තේ වාණිජ කෘෂිකර්මය කාර්මිකකරණය කිරීම සහ ඊනියා අතිරික්ත ශ්‍රමය විතැන් කිරීම තුළය; නමුත්, ශ්‍රමයේ දෘෂ්ටියෙන් ගත් කල විසඳුම ඇත්තේ විදර්ශන කන්නන්ගර සොයුරාද පවසා ඇති පරිදි කම්කරුවන් විසින් වතු අත්පත් කරගැනීම තුළය.
අපේ රටේ ගෞරවණීය ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය තුළ නොතකා හැරුණු වතු අංශය ප්‍රජාතාන්ත්‍රික අවකාශයට විවෘත කිරීමේ දිශාවට මේ අරගලය රැගෙන යා යුතුය. මේ රටේ ඊනියා යහපාලන බුද්ධිමතුන් පවා වතු කම්කරුවාද පුරවැසියෙකු බව නොතකා හැරීය. වතු කම්කරුවාගේ ජන්ද කුට්ටිය කඩා දීම තොන්ඩමන්ගේ සහ දිගම්බරම්ගේ වෘත්තීය සමිති ප්‍රභූ තන්ත්‍රයට පැවරීය. දැන් මේසය අනෙක් පැත්තට හැරවීමේ කාලයයි.
වතු කම්කරුවාද පුරවැසියෙකි. සෙසු පුරවැසියන්ට හිමි සියලු සුබසාධන අයිතීන් සහ ප්‍රජාතාන්ත්‍රික නිදහස ඔහුටත් ඇයටත් හිමිය. එය පවතින දූෂිත ප්‍රභූ රාජ්‍යය වෙනුවට ගොඩ නැගෙන නව ජනරජයක මූලධර්මයක් විය යුතුය. එවන් නව ජනරජයක් උදෙසා පක්ෂ පාට බේදයෙන් තොරව එක්ව නව සමාජ කතිකාවක් ගොඩ නගමු!

Recommended For You

About the Author: Editor(A)