යුතෝපියාව; සුන්දර ගම්මානය පිළිබඳ ප‍්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක් ම සූක්ෂම ගුණයෙන් හා කලාත්මක පක්ෂයෙන් සුවිශේෂීය. කෙටි නාට්‍ය, කෙටි චිත‍්‍රපට, කෙටි කාව්‍ය මේ සැමෙකක් ම කෙටි යන නාමයත් සමග උරුම කරගත් (නො)නිල තීක්ෂණතාවයකින් යුතුය. ‘කෙටි’ නාමකරණය ඇඟවුම් කරන්නේ සංක්ෂිප්ත හෝ ස්වල්ප බව නොව තීක්ෂණතාවය යි. විටෙක එය නිශ්චල ඡායාරූපයක සිරි ගනියි. කාලය ගල් කර ගැනීමේ අපූර්ව ශක්‍යතාවය මේ නිර්මාණවලට තිබේ. එහෙයින් කෙටිකතාව යනු කාලය හා අවකාශය අතර මොහොතක් සීඝ‍්‍ර ගල් කර ගැනීමක් වන්නේය.

ඉහත සඳහන සිත්හි තබා ගනිමින් අප අත්පත් අලූත්ම කෙටිකතා සංග‍්‍රහයක් දළ විමසුමකට ලක් කිරීම මේ සටහනේ අරමුණයි. සාහිත්‍ය විචාර අවකාශය තුළ නම් දරා සිටින චින්තක රණසිංහ විරචිත පළමු කෙටිකතා සංග‍්‍රහය වන උතෝපියාව කෙටිකතා හතරකින් යුක්තය. ගම පිළිබඳ වන පරිපූර්ණ, සුන්දර ෆැන්ටසික ලෝකය බිඳ දමන කතුවරයා සංග‍්‍රහයෙන් කෙටිකතා දෙකක් ම වෙන් කරනුයේ උක්ත තේමාව ප‍්‍රකාශයට පත් කිරීමටයි. අනෙක් කතා දෙකෙන් එකක් නූතන සරසවි අධ්‍යාපනයේ ඛේදවාචකය ඉඟි කෙරෙන කතුවරයාගේ පෞද්ගලික අත්දැකීම්වල සමීප රූපයක් ලෙසින් ලියැවුණකි. සතරවැන්න හෙවත් කෘතියේ පිළිවෙළට නම් තෙවැන්න මනෝවිශ්ලේෂණ විෂයට බර වූ කෙටිකතා සංග‍්‍රහයේ එන සාර්ථක ම කෙටිකතාවයි. උතෝපියාව සමකාලීන සමාජ යථාර්ථය ස්පර්ෂ කරන්නක් හෙයින් විමසුමට ලක් කිරීමේ සැබෑ වැදගත්කමක් ඇත්තේය.

ප‍්‍රතිවික්ටෝරියානු දැක්මකින් ගම දෙස බලන්නෙකුට ලංකාවේ සාම්ප‍්‍රදායික ගම පිළිබඳ නිවැරදි කටු සටහනක් ගසා ගැනීමට හැකි වුව ද වික්ටෝරියානු සභ්‍යත්වය විසින් අන්ධව ඇති කලෙක ගම පරමාදර්ශී, සුන්දර ෆැන්ටසියකි. එය දුරාචාරයට ලක්ව ඇත් නම් ඒ නගරය විසින් කළ හදියේ ඵලයක් නිසාය. සැබෑය. නාගරීකරණය ගම්මානවල පැවැති සරල, චාම් ගති සිරිත් දෙදරවූවේය. එසේ වුව ද ගම යනු මුනිවරුන්ගේ නිජබිමක් යන වික්ටෝරියානු සිතිවිල්ල නම් මුසාවකි. පුරාණ වැඩවසම් සමාජය තුළ ගම අර්ථ ගැන්වුණු ආකාරය කිසිසේත් නූතන ගම අර්ථ ගැන්වීම සඳහා යෝග්‍ය නොවන්නේය. ගම තුළ සිදු වන සියලූ විපර්යාසයන් සමාජයක අධෝ ව්‍යුහය විසින් කරන සංචලනයන් මත රඳා පවතින බැවින් ශුද්ධ වූ ගමක් මායා කතාවල හැරෙන්නට මිහිබට තිබිය නොහැකිය. විශේෂයෙන් ම ලිංගික සබඳතා අතින් නිරවුල් වූ ගමක් සමකාලීන සමාජයේ නම් අපට දැක ගත නොහැක්කේ ම ය.

”නූතන ගැමියාට අතීතයේ මෙන් නොව ගම හුදෙකලා කොට පලායාම තම ස්වයං මමත්වය මගින් මෙහෙයවනු ලබයි. එහෙයින් නූතන සමාජ ක‍්‍රම හමුවේ සාමූහිකත්වය හා සහයෝගීතාවය මත පදනම් වූ මානසික බැඳීම යන්න හුදු මිත්‍යාවක් මිස අධ්‍යතන යථාර්ථයක් නොවේ.” (හෙට්ටිතංත‍්‍රී, සුජීව. (2009) අද්‍යතන ශ‍්‍රී ලංකාවේ ගම සහ සහභාගිත්ව සංවර්ධනයේ භාවිතය, ප‍්‍රවාද(ජනවාරි-දෙසැම්බර්) කොළඹ; සමාජ විද්‍යාඥයින්ගේ සංගමය.)

එහෙයින් සංග‍්‍රහයේ එන මිත‍්‍රයෝ දෙදෙනෙක් සහ යුතෝපියාව ගම පිළිබඳ වන වික්ටෝරියානු ෆැන්ටසිය බිඳ දමයි. පශ්චාත් යටත්විජිතවාදී ඌන සංවර්ධිත පීතෘ මූලික රටක ජනයා වෙත අධි ආගමික රාජ්‍ය තන්ත‍්‍රය පිරිනමන උතෝපියාව නම් පරමාදර්ශී ගමයි. සකලාකාරයෙන් දූෂ්‍යව ඇති නගරය (කොළඹ නගරය) අසහනය වපුරමින් සිටී. පිටකොටුවේ එක් වීදියට ලංකාවේ සෑම ගමක් ම පොදි කන අතර සෑම දිවා රාත‍්‍රී බණක ම සැහැල්ලූවෙන් ඇවිද ගිය පරමාදර්ශී ගමක් ගැන කියැවේ. මේ උතෝපියාව සොයා යන ගමෙන් නගරයට ආ තරුණයා කිසි විටෙකත් ගම පිළිබඳ සිය මිත‍්‍රයන්ගේ කීම් පිළි නොගනී. ඒ වෙනුවට තමස සිත්හි මවාගත් උතෝපියාව පසු පස ම ඇදෙයි. ‘ඈත ගම්නියම්ගම්වල පැසී ඉදී කිරිවදින ජීවිතය සොයා’ කාලයකට පසු ගමට යන තරුණයාට තරු පෙනෙන්නේ ඔහුට ගම වෙත ඇරයුම් කළ තැනැත්තිය (ඇය ඔහුට සමකාලීනව පාසලේ පහළ පන්තියක ඉගෙන ගත් තරුණියකි. අහම්බෙන් අත දරුවාට බෙහෙත් ගැනීමට පැමිණ සිටිය දී තරුණයාට හමුවෙයි. මේ මොහොතේදීය ඔහුගේ කැමැත්ත පරිදි ඇය තරුණයාට ගමට ආරාධනා කරනුයේ) සිය වනගත නිවෙසේ දී තරුණයාව පොළඹවා ගන්නට තැත් කරන කල්හිය. ඔහු සිය පරමාදශී ලෝකය බිඳ වැටුණු බව පවසමින් මිතුරාත් සමග නගරයට පිටත් වෙයි.

”හරි හරි විජේ දැං ඉතිං  ඕක නවත්තපං අපි හිතුව ගම දැං ඉවරයි කියල දැන ගත්තා.”

ඊට විජේ දෙන පිළිතුර තරමක් ප‍්‍රකාශනරූපී වුව ද කතානායක ෆැන්ටසිය බිඳ වැටීම විද්‍යාත්මකව තහවුරු කරයි.

”මං ඔය ලොකු ලොකු දේවල් දන්නෙ නෑ, ඒත් ගම කියන එක එදා ඉඳල ඔහොමයි.” ගමට යෑමේ මනස්ගාතය අතෑරගන්නා ලෙස කතා නායක තරුණයාට ලැබෙන මිතුරු උපදෙස් ඵල දරන්නේ ඔහු ලද මේ අත්දැකීමෙනි. ලක්බිමේ කාලයක් පරිපාලන නිලධරයෙකු ලෙස විසූ ලෙනාඩ් වුල්ෆ් රචනා කළ බැද්දේගම ලාංකීය ගම පිළිබඳ  කටුසටහනකට කදිම මූලාශ‍්‍රය සපයයි. පසුගිය කාලයේ ඉතා දෘඪ ලෙස  ප‍්‍රතික්ෂේපිත විමුක්ති ජයසුන්දරගේ සුළඟ එනු පිණිස වැනි සිනමාකෘතිවල ද අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ගම පිළිබඳ වන පරම ෆැන්ටසියේ ප‍්‍රතිවික්ටෝරියානු නිර්වචනයයි.

මිත‍්‍රයෝ දෙදෙනෙක් කෙටිකතාව ද ගම පිළිබඳ පරිපූර්ණ චිත‍්‍රය වෙනුවට අක‍්‍රමිකත්වයේ චිත‍්‍රයක් පාඨක මනසේ අඳියි. පරිපූර්ණ චිත‍්‍රය යනුවෙන් මෙහි දී අදහස් කළේ රේඛීය මනුෂ්‍ය සම්බන්ධතා, සාමකාමී පවුල් සංස්ථා, පරමාදර්ශී ලිංගික ගනුදෙනු ආදී කාරණාවන්ය.

කෘතියේ අවසාන කෙටිකතාව වන පර්යේෂකයෙකුගේ කතා වස්තුව මෙරට උසස් අධ්‍යාපනයේ සමකාලීන යථාර්ථය හෙළිදරව් කරන්නේය. විදේශීය රටක ශාස්ත‍්‍ර ගවේෂණය ම පරම කොටගත් පසුබිමක වැඩෙන පර්යේෂකයා ලංකාවට පැමිණි කල විශ්වවිද්‍යාල තුළ නව පර්යේෂණ කෙරෙහි වන ප‍්‍රවණතාවය විද්‍යාර්ථීන් තුළ තබා ආචාර්යවරුන් තුළවත් නොවන බව දැක හෝටල් කාමරයකට වී කල් ගෙවයි. පර්යේෂණකාමී මහාචාර්යවරයාට නිවැරදි ම පුද්ගලයා ලැබෙනුයේ මෙරට විශ්වවිද්‍යාල ගොඩනැගිලි අස්සේ නොව, නවාතැන් ගත් හෝටලය තුළ දී ය. හෝටල් කළමනාකාරවරයා අපූර්ව ශාස්ත‍්‍රකාමියෙකි. සැබැවින් ම ඔහු කලක් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකුව සිට විෂයක් වශයෙන් බටහිර සාහිත්‍ය අධ්‍යයනය විෂය නිර්දේශවලට ඇතුළත් කළ නිසා සරසවියෙන් නෙරපූවෙකි. මේ තතු වත්මන් සරසවිවල නිතර සිදු වන දෑය. කතුවරයාගේ පෞද්ගලික අත්දැකීමක් මෙසේ පාඨකයා වෙත ගෙන එන්නට ගත් උත්සහාය සමාජ යථාර්ථය විවරණය කිරීම අතින් පැසසුම්කටයුතු අතර ආරම්භයේ දී අප සඳහන් කළ කරුණුවලට සාපේක්ෂව නම් සරු නොවේ.

යුතෝපියාව කෙටිකතා සංග‍්‍රහයේ එන සාර්ථක ම කෙටිකතාව නම් මදුරුවෝ යි. එය අපූර්වය. සංකල්ප රූප බහුලය. තත්පරයෙන් දහසෙන් පංගුවක් ගල්කොට අනාවරණය කර ගත් නිශ්චල ඡායාරූපයක් මෙනි. මදුරුවන් මැරීමටත්, මරා උන්ගේ රුධිරය දැකීමටත් අසීමිත ලෙස ආශා කරන්නෙකු(සිරී) මෙහි කතා නායකයා වෙයි. සමස්තයක් ලෙස ඔහුගේ සියලූ ලිංගික ආරම්මණයන්ගේ කූඨප‍්‍රාප්තිය මදුරුවාගේ රුධිරය දැකීම මත තීරණය වෙයි. ෆ්‍රොයිඩියානු අර්ථයෙන් ලේ දැකීම හා ඝාතනය කිරීමේ ආශාව පූර්වයේ පටන් මිනිසා උරුම කරගත් සහජාශයකි. එහෙත් මේ නම් විකෘතියකි. නෝමන් බෙට්ස් (ඇල්ෆ්‍රඩ් හිචිකොක්ගේ සයිකො සිනමාපටයේ) මෙන් සිරී ද අමුතු වින්දනයක් ලබන්නේ විකෘත සහගත අත්දැකීමකිනි. ඔහු සිය පෙම්වතියට ලියන පෙම් හසුන්වල තමා මැරූ මදුරුවන් ප‍්‍රමාණය ලියා යවයි. නුරුස්නා දේ තඩි කළු මදුරුවන්ට උපමාකොට දක්වයි. කාමරයේ තනිව ස්වයං වින්දනය කරන්නට ඔහු භාවිත කරන්නේ ද රති දූ පත්තරයේ පළ වූ ‘මදුරුවෙකු කී රති රහස්’ නමැති කතාවකි. එහි දී මදුරුවෙකු තරුණියකගේ නිදන කාමරයට ඇතුළු වී දකින දෑ මදුරු දෘෂ්ටියෙන් ලියැ වී ඇත. ඔහු පරම සුඛාස්වාදය ලබන්නේ මේ මදුරු ලේඛනය කියවා විඳීම මගිනි. කොටින් ම ඔහු සිය පෙම්වතිය හමුවන ස්ථානය ලෙස යොදා ගන්නේ ද, හමු වෙමු යැයි යෝජනා කරමින් පෙම්වතියට ලියා යවන්නේ ද ‘සිකුරාදා පොළ හන්දියේ නින්ජා ලොකු දැන්වීම ඇඳි පුවරුව ළඟට’ පැමිණෙන්න යැයි කියාය. ඔහුගේ පෙම් හබය නිමා වන්නේ ද මදුරුවෙක් නිසා පොදු ප‍්‍රවාහන බස් රථයක සිදු වන අකරතැබ්බයකිනි.

ආකෘතිමය පක්ෂයෙන් කිසිදු නව්‍ය බවක් නොපෙන්වුව ද චින්තක රණසිංහගේ යුතෝපියාව සාරාත්මක වැදගත්කමක් අරා සිටියි. ඒ සමකාලීන සමාජ යථාර්ථය ප‍්‍රතිනිරූපණය කිරීම අතිනි. කාලය හා අවකාශය ගල් කර ගැනීමේ කලාත්මක සමීප රූපයක් වශයෙන් එහි බලය මද බව පැවසිය යුතුය. එසේ වුවත් කෘතියේ එන අනෙක් කෙටිකතා තුන පරයා විශ්වීය වටිනාකමක් මදුරුවෝ කෙටිකතාවට පිරිනැමීමට මැලිවිය යුතු නැත.

කේ. ඩී. දර්ශන

Recommended For You

About the Author: Editor(A)