මුලික ප්‍රාථමික සෞඛ්‍ය සැළසුම් ජනතාවට සමීපවන අයුරින් විධිමත් කළ යුතුයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 144 වන විධායක මණ්ඩල රැස්වීමේ සමාරම්භක උත්සවය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේ දී පැවැත්වෙන අතර, පසුගිය 24 වන දින සිට ලබන 01 දින දක්වා විධායක මණ්ඩල රැස්වීම පැවැත්වේ.

එහිදී  සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මුලික ප්‍රාථමික සෞඛ්‍ය සැළසුම් ජනතාවට සමීපවන අයුරින් විධිමත්ව  ක්‍රියාත්මක විය යුතු බව ප්‍රකාශ කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරිපත් කළ වාර්තාවේ  ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන සංවර්ධනය පිළිබඳව සඳහන්වේ.

සමස්ථ ලෝකයේම අභියෝගයක් වන බෝනොවන රෝග සහ රෝග මැඩපැවැත්වීම සඳහා ගෝලීය වශයෙන් ක්‍රියාමාර්ග රැසක්  ගෙන ඒම හා එහි සාර්ථක භාවය පිළිබදව  අදාල වාර්තාවේ මූලිකවම අවධානය යොමු කර ඇත.‍

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ විධිමත් ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සැළසුම් ක්‍රියාත්මක වීමේ දී  බෝනොවන රෝග සම්බන්ධයෙන් ජනතාවට සමීප වන බිම් මට්ටමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් රෝග වැළැක්වීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිර්මාණාත්මකව ක්‍රියාත්මක විය යුතු බවත්ය.

මුලික සෞඛ්‍ය පිළිබඳව ප්‍රතිසංස්කරණයන්  සිදුවන  දකුණු සහ නැගෙනහිර ආසියානු කළාපය තුළ  ලංකාව දෙස අවධානය යොමු කරන විට‍ “පවුලේ වෛද්‍යවරයා ”  සංකල්පය හදුන්වාදීම සුවිශේෂි වේ. එමෙන්ම ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් පෞද්ගලික සහ රාජ්‍ය අංශය සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් නිදහස් සෞඛ්‍ය සේවාවක් බිහිකිරීම හා එයින් ජනතා සුබසාධනය අපේක්ෂා කිරීම පිළිබඳවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor(A)