බාබායිගාගේ තතු

අනුවාදය: ඩිල්ෂානි චතුරිකා දාබරේ

            ස්ලාවික් පුරාවෘත්තවල සඳහන් වන චරිතයක් වූ බාබායිගා යකින්න, මන්තරකාරිය නැතහොත් එනම් මායාකාරිය රුසියානු කතන්දරවල එන ජනපි‍්‍රයත ම චරිතයකැයි හැඳින්විය හැකිය. පෝලන්ත ජාතිකයෝ මැයව ‘ඉයෙන්සබාබා’ (Ienzababa) හෝ (Jezda) යන නම්වලින් ද චෙකොස්ලෝවැකියානුවෝ ‘ජාසි බාබා’ (Jazi Baba)යන නමින් ද හඳුන්වති. ‘බාබා’ යන්න මැහැල්ල, අත්තම්මා සඳහා යෙදෙන්නක් වන අතර රුසියානු බසින් ‘යාගා’ යන්නෙහි අරුත ද එය ම වේ. බාබායිගා සාමාන්‍යයෙන් රුසියානු සුරගන කථාවල දුෂ්ට පක්ෂය නියෝජනය කළ ද බොහෝ අවස්ථාවල ඇය උපකාරශීලී ස්වරූපය දරයි. බොහෝ රුසියානු මායාකාරියන් මෙන් බාබායිගා ද අමරණීය ය. එමෙන් ම ක්ෂණිකව වෙනස්වනසුලූ ගති ස්වභාව ඇත්තෙකි. සත්‍ය වශයෙන් ම ලෝකයේ සියලූ දෑ සම්බන්ධයෙන් මනා දැනීමක් ඇති මන්තරකාරියකි. රුසියානු බසින් මායාකාරිය හැඳින්වීමට යොදන ‘ව්යෙද්මා’ (Ved’ma)  යන්නෙහි ‘ව්යෙද්’ වදනෙහි අරුත ‘සියල්ල දැන ගැනීම සඳහා’ යන්නයි. මෙය ඉංගී‍්‍රසි බසින් මන්තරකාරිය හඳුන්වන Witch  (විච්) යන්නට අනුරූප වන්නේ යැයි සැලකේ. බාබායිගා මරණයේ පුද්ගලාරෝණය යි; යක්ෂයාගේ මෙහෙකාරිය යි. ඇයව කිසිදා දෙව්දුවක් ලෙසින් නිරූපණය කර නැත. දෙවියකු ලෙස හැඳින්වීමට නොහැකි තරම් ඇය පොළව හා දුරස් නිසාවෙනි. ඒ නමුත් සැමට කරුණාවන්ත දෙව`ගනක ලෙසට ඇගේ මුල්කාලීන ස්වරූපය නිරූපණය කර තිබේ. විශේෂයෙන් කාන්තාවන් විෂයෙහි ඇය උපකාරශීලී බැව් කියවේ. කි‍්‍රස්තියානි යුගය එළඹීමෙන් අනතුරුව ඇගේ එකී ගුණාංගය භයානක මන්තරකාරියක් දක්වා ක‍්‍රමයෙන් හීන වී ගියේ ය.  ඉන් පසුව වුවත් ඇය කාන්තාවන් අතර ඇය දරන ලද ස්ථානය එලෙසින් ම පවත්වාගත්තාය.

පුරා කථා

            පශ්චාද් කි‍්‍රස්තියානි පුරාවෘත්තවල බාබායිගා කාන්තාවන්ට කෙතරම් වැදගත් වූයේදැයි විස්තර කර තිබේ. ඒ එක් කතාන්දරයක් මෙසේයි. එක්තරා අඹු සැමි යුවලකට තමන්ගෙ එක ම දුව වෙනුවෙන් කැපකාර මවක් සොයාගැනීමට නොහැකි විය. ඒ සඳහා බොහෝ වෙහෙස වූ ඔවුන්ට එක්තරා මහලූ ගැහැනියක් හමු වූ අතර ඇය දුවගේ කැපකාර මව වීමට එකඟ වූවාය. මේ මහලූ ගැහැනිය තමන්ව බාබායිගා නමින් හඳුන්වාගත් අතර පෙර කී දියණියව සිය මායා බලයෙන් රැුගෙන යන ලදී. කැපකාර දියණිය පසු කලෙකදී බාබායිගාට එරෙහිව අපරාධී කටයුතු ගණනාවක් කරන්නට යෙදිණි. මේ එරෙහිවීම ම බාබායිගාට ඇයව කා දැමීමට හේතුවක් වුවත් ප‍්‍රාග් කි‍්‍රස්තියානු කතාවල යෙදෙන පරිද්දෙන් බාබයිගා ඇයව අඳුරු වනන්තරයට පිටමං කරන ලදී. වනයේ දඩයම් පිණිස ගමන්ගත් කුමාරයකු එහිදී ඇයට මුණ ගැසුණු අතර කුමාරයා ඇයව සිය රාජධානියට රැගෙන ගියේ ලූ. පසුව ඔහුට දාව ඇය දරුවන් තිදෙනෙකු ලැබුවා ය. මේ සෑම පුත‍්‍රයකුගේ ම නළලෙහි හඳක් සහ තරු කිහිපයක් බැගින් උපතින් ම පිහිටා තිබුණි. සිය කැපකාර දියණිය සිටින ස්ථානය සොයාගත් බාබායිගා එහි පැමිණ කළ වරදට වන්දි වශයෙන් ඇගේ දරුවන් තිදෙනා තමාට දෙන්නැයි අණ කළා ය. එය ඉටු නොවූ තැන දරු තිදෙනා පමණක් නොව දියණිය ද රැගෙන යකින්න පලා ගියාය. ශෝකයට පත් කුමරා ඔවුන් සොයා පිටත් විය. මෙසේ සොයමින් යන අතර ඔහු එළිපෙහෙළි කරන ලද වනයකට පැමිණියේ ය. ඒ එළිමහන් පිටියේ දීප්තිමත් ගිනි ජාලාවක් දැල්වෙමින් පැවති අතර ඒ වටා විවිධ සත්තු රැුස් වී ඔහුගේ ගමන් ගම අහුරාගෙන සිටියහ. ගින්නට පසෙකින් කුමාරයාගේ බිරිඳ, දරුවන් තිදෙනා ද සමග වාඩි වී සිටිනු ඔහු දුටුවේ ය. තමන්ටත් ඒ අසලට වන්න ඉඩ දෙන්නැයි කුමරා බැගෑපත් වූ නමුත් ගින්න වටා සිටි සතුන් ඔහුට යාමට ඉඩදෙන ලද්දේ දියණිය බාබායිගාගෙන් ඒ සඳහා අවසර ඉල්ලූ පසුව ය. බාබායිගා ඔහුට සිය පුතුන් තිදෙනා රැුගෙන යාමට ඉඩ හළ නමුත් බිරිඳ තමා සන්තකයේ තබාගත්තා ය. බාබායිගාගේ ආගමනය පිළිබඳ පුරා කතාව එසේ වේ.

ශරීර ස්වභාවය

            ඇටකටු වලටත් සමටත් වඩා කුඩාවට පෙනෙන ඉතා වියපත් අවලස්සන මැහැල්ලක ලෙස බොහෝදෙනා බාබයිගාව හඳුන්වති. දෙතොල් අතරින් නෙරපී ඇති ඇගේ දත්පෙළ ඉතා දිගුය. එමෙන් ම තියුණු මුවහතකින් සුසැදිය. අවස්ථානුකූලව ඒවා යකඩ දත් පෙළක් බවට පත්වේ. බාබායිගා මිනී මස්කන්නියක බැවින් ඇගේ දත්පෙළ එසේ මුවහත්වීම අවශ්‍ය ය. ඇගේ නාසය මෙන් ම පපු ප‍්‍රදේශය ද සෑදී ඇත්තේ යකඩෙනි. තමා බිලිගැනීමට බලාපොරොත්තුවන පුද්ගලයන්ව භීතියට පත්කිරීමට හෝ තාවකාලිකව ගල් කිරීමටත් ඔවුන්ව සිය පැලට ගෙන ගොස් ගල් බවින් මුදවා රිසි සේ කා දැමීමටත් ඇය සමත් වෙයි. වේදනාවෙන් ඇඹරෙන සර්ප විමනක ස්වරූපයක් ඇගේ හිස කෙස් වලින් නිරූපණය වේ. ප‍්‍රතිවාදීන්ව දෑසින් බියපත් කිරීමත් සර්ප හිසකෙස් සහිතවීමත් යන කාරණා ද්වය ම සම්භාව්‍ය ගී‍්‍රක සාහිත්‍යයේ එන මෙඩූසා රාස්සියගෙන් (Gorgon Medusa) ආභාසය ලබා නිර්මාණය වූයේ යැයි සැලකේ.

බාබායිගාගේ පැල්පත

බාබායිගා පිළිබඳව විස්තර කරන සෑම කතාන්රයකදී ම සාමාන්‍ය වටපිටාවෙන් අතිශය දූරස්ථ වූ ගැඹුරු හුදකලා වනාන්තරයක පැලක ඇය පදිංචි බව සඳහන් කර තිබේ. එනිසා වනයේ අධිපතිනිය (Khoziaika lesa) නමින් බාබායිගා නම් කෙරේ. මේ නිවහන කිකිළියකගේ පා සහිත(කුකුලූ පාද මෙන් ම කිකිළි පාද යන්න ද මෙහි කියවී ඇත) මුලූ සතරක් මත පිහිටයි. එහි පැමිණෙන අයෙක් පෙර පටන් දැන නොසිටි බව හඟවන වදනක් පිට කළවිට හෝ සුළඟින් හෝ එය නිදහසේ කරකැවෙන්නට ගනී. ඇතැම් පුරාවෘත්තවලට අනුව මේ නිවහන පොළොවට සම්බන්ධ කර නැතිවා මෙන් ම කිකිළි පා වලින් සෑම තැන ම ඇවිදීමට ඊට හැකියාව තිබිණි. තවකෙක සඳහන් වන්නේ කිකිළි පාද නිවසේ මුලූ සතර දරාගැනීම සඳහා උපකාරී වන බවත් එහි මධ්‍යය කැරකෙන රෝදයේ ඇති ධාරකයට සම්බන්ධ බවත් ය. බාබායිගා විසින් මළවුන්ගේ ඇටකටු සහ අතුණුබහන්, ජීවිතය නමැති නූලෙන් ඇද කරකැවීම මෙයින් අදහස් කෙරේ. වහලය මුදුනෙහි ස්පර්ශ වන නාසයක් ද සහිතව නිවසේ සෑම කොණක ම ඇහිරෙන සේ සිටින බාබායිගාගේ රූපය මේ පැලෙන් ඇතුළත නරඹන  ඕනෑම සුරඟන කතා වීරයෙකුට දැකිය හැකිය. ඇය විසින් බිල්ලට ගත් පුද්ගලයන්ගේ ඇටකටු වලින් පැල වටා ඇති වැට සහ ගේට්ටුව  නිමවා තිබේ.  සෑම කනුවක් ම මිනී හිසකින් සරසා ඇති අතර ඒවායේ දෑස් රාති‍්‍රයෙහි දැල්වයි. මේ අස්ථි කොටස් බාබායිගා මරණය සමග දක්වන බැඳීම සංකේතවත් කරනවා පමණක් නොව මළවුන්ගේ ඇටකටුවලින් උරාගන්නා නව ජීවිතය නමැති ඇගේ චරිතයේ තවත් පාර්ශ්වයක් පිළිබඳව ද හෙළි කර සිටී. ඇය සකසන සූපය සඳහා බොහෝවිට  මළවුන්ගෙන් ඉවත් කරන ඇඟිලි, පා ඇඟිලි, ඇස් ආදි ශරීර කොටස් යොදා ගන්නේ යැයි සැලකේ. ඇතැමුන් සඳහන් කරන පරිදි ඇගේ පැල්පත ද සාදා ඇත්තේ මිනිස් ඇටකටු වලිනි. එහිදී දොර උළුවහු සඳහා පාද ද බෝල්ට් ඇණ සඳහා අත් ද දොරගුලූ සඳහා තියුණු මුවහත සහිත දත් ඇති මුඛයක් ද භාවිත කෙරේ. මෙකී අංග අස්ථිමය වැටට පමණක් සම්බන්ධ බවට ද මත පවතී. කුකුළු අ`ඩු නොමැති නම් එය හුදු ගොවි නිවසක සොබාව දරන පැලක් සිහිකරවයි. Ivan in the Pea නම් කතාවෙහි (මේ පවසන්නේ ‘ලස්සන වසිලිස්සා’ ග‍්‍රන්ථයෙහි එන ‘ලොකු නුවණක්කාර පුංචි ඉවාන්’ කතාන්දරය විය යුතුය) සඳහන් පරිදි සුළ`ග හමන විට කරකැවෙන අද්භුත නිවසක් සහිත වනයක වාසය කළ නමක් සඳහන් නොකරන කෙස`ග මැහැල්ල ද බාබායිගා ය. ඒ කතන්දරයේ දී ඇය නපුරු මායාකාරියගේ චරිතයෙන් බොහෝ දුරස්ථ ස්වරූපයක් දරයි.

ගමනාගමනය

            බාබායිගා යුරෝපියානු මායාකාරියන්ට සුපුරුදු කොසු මිට වෙනුවට අහසේ පියාඹන වංගෙඩියක නැගී ගමන්ගනී. ධාවනය වේගවත් කිරීමට වංගෙඩිය ඉදිරියට තල්ලූ කරවන මෝල්ගසක් එහි වෙයි. බර්ච් ලීයෙන් තැනූ කොස්සක ආධාරයෙන් මාර්ගයේ ඇති සියලූ බාධක ඇය අතු ගා දමයි. වංගෙඩියත් මෝල්ගසත් බාබායිගාගේ විනාශ කිරීම සහ ආරක්ෂා කිරීම යන ස්වභාව දෙක නියෝජනය කරන්නේ යැයි සැලකේ. හාත්පස ව්‍යාප්තව පවත්නා ඇගේ බලාධිකාරයට සාක්ෂ්‍යක් ද වන ඈ අත ඇති බර්ච් ලී කොසු මිට, අපිළිවෙළ සහගත වූ ජීවිතය නමැති ගස ද සංකේතවත් කරයි. ඇය අහසෙහි ගමන්ගන්නා අවස්ථාවේදී යන මග නැවත නැවත අතුගා දැමීමට පෙරාතුව නව ජීවිත උපදවා පෝෂණය කරන්නේ යැයි පිළිගැණේ. රුසියාවේ ආදි මානවයින් ලෙස සැලකෙන ස්ලාවික් වැසියන් මෙම මුළුතැන්ගෙයි උපකරණ සාම්ප‍්‍රදායිකව ධාන්‍ය අඹරා කොටා පිළියෙළ කර ගැනීමට පමණක් නොව (මෙය බබයිගාගේ සියල්ල වනසා දැමීමේ ස්වභාවය නියෝජනය කරයි) හණ කෙඳි නූල් ආදිය සකසා ගැනීමටත් (මෙය ඇයගේ ආරක්ෂාකාරී ස්වභාව නියෝජනය කරයි) භාවිත කර ඇත. උපත, ජීවිතය සහ මරණය යන මෙම කාරණා ද බාබායිගාගේ ස්වභාවයන් ති‍්‍රත්වය හා බැඳි පවතී. මේවා ප‍්‍රජනන කි‍්‍රයාවලියේ දී මිනිස් ඉන්ද්‍රීයන් සංකේතවත් කිරීමට ද යොදා ගනී.

අශ්වයින්ට අධිපති දෙවඟන යන තනතුර දරන හෙයින් බාබායිගා සතුව ගිනි පිඹින පියාඹන සෛන්ධවයකු සිටී. තනිව කි‍්‍රයාත්මකවන ඉබේ කැපෙන පොරොවක් ද ඈ සතුය. තමා සතු කැඩපත්, මුදු සහ කැටි නූල් බෝල තාරුණ්‍යය අපේක්ෂා කරන කාන්තාවන්ට ලබා දීමට  ද ඇය නොපැකිලි වෙයි. ඉබේ වැයෙන ගුස්ලි(Gusli) නම් පැරණි රුසියානු වාද්‍ය භාණ්ඩයක් ද ඇය සතු ය.

ආධිපත්‍යය සහ බලය

පුරා කතා ක‍්‍රමිකව වර්ධනය වීමේ දී ඇය දෙවියන්ගේ මව එනම් මේරිට (Mary, Mother of God)සමව සළකනු ලැබූ අතර මායාකාරියගේ පැල වූ වනාන්තරය එහිදී දිව්‍යලෝකයේ රාජධානිය බවට පත්විණි. අතීතයේ පටන් පැවතගෙන එන කතාන්දරවල බාබායිගා මූලාරම්භක දේවතාවා ලෙස හඳුන්වා තිබේ.  ශිලා යුගයට පූර්වයේ පමණ සිට එසේ වන්නට ඇතැයි සිතිය හැකිය. එඬේර කණ්ඩායම්වල ආරක්ෂකයා වශයෙන් ද අශ්වයන්ට අධිපති දේවතාවා ලෙසින් ද ගොවිතැනට සහ ගොවියන්ට අධිපති ආරක්ෂක දෙවඟන ලෙසින් ද ඇය නම් කර තිබුණි. ආදිතම අර්ථ දැක්වීම්වලට අනුව ඇය වන සිවුපාවුන්ගේ අධිපතිනිය යි. කුකුළු අඬු සහිත පැල්පත හේතුවෙන් කුරුලූ දෙවඟන වශයෙන් ද ඇයව නම් කර තිබේ. කාලය රඳවා තබා ගැනීමේ සුවිශේෂ බලයක් බාබායිගා සතුය. හිරු, දිවා කාලය, රාති‍්‍රය යන මේවා ඇයගේ අණට අවනතව සොබාදහමේ නීතිය ඉටුකරයි.  සාමාන්‍යයෙන් රුසියානු මායාකාරියන්ට හැකියාව ඇති කාලගුණ තත්ත්වයන් මෙහෙයවීමට සමත් බාබායිගාට ඉර සඳ දෙදෙනා ගිල දැමීමටත් අස්වැන්න ඵලදැරීමට හෝ විනාශවීමට සැලැස්වීමටත් වර්ෂාව පාලනය කරන්නා සේ එළදෙනුන් සපයන කිරි ධාරා පාලනය කිරීමටත් බලය ඇත. විටෙක වෘක්ෂ දේවතාවකු මෙන් දිස්වන ඇය තවත් අවස්ථාවක ළමුන් පැහැරගෙන යාම ද සිදු කරයි. බාබායිගා වනාන්තරයේ සිටින සියලූ සත්වයින්ටත් සමසත් වනයටත් සිය බල පරාක‍්‍රමය පතුරුවා හරී. ජීවිතයත් මරණයත් සඳහා ජලය සපයන උල්පත භාර ආරක්ෂකයාගේ භූමිකාව ද ඇය ඉටුකරයි.

බාබායිගා ස්තී‍්‍ර දේවත්වයෙන් පෙනී සිටිය ද පුරුෂයින්ගේ ලෝකයේ දී ඊට සමාන බවක් දරයි. ඇය රැගෙන යන යෂ්ටියක ආධාරයෙන් වෙස් මාරු කරගත හැකි අතර පුරුෂ ජනනේන්ද්‍රිය ද ඇය පාලනය කරන්නේ යැයි කියවේ.

විවිධ වේෂ සහ චර්යා තත්ත්වයන්

බාබායිගාගේ කාරුණික ස්වරූපයේ දී අලංකාර හිස කෙස් ද කාරුණික මුහුණක් ද විවාහක කාන්තාවන් පළඳින ආකාරයේ සාම්ප‍්‍රදායික හිස් වැස්මක් ද සහිත සාමාන්‍ය වයසක ගොවි ලියක ලෙසින් හඳුන්වා දී ඇත. ඇගේ මේ ද්විත්ව ස්වභාවය (කාරුණික සහ අකාරුණික) අපේක්ෂා කළ පරිද්දෙන් පැහැදිලි ලෙස විස්තර කර නැත. අතිශය සංකීර්ණ චරිතයක් වන බාබායිගා දරන මෙම ද්විත්ව ස්වරූපය පරයා ඇගේ ත‍්‍රයාකාර වූ ස්වභාවන් හඳුන්වා දිය හැකිය. සම්භාව්‍ය ගී‍්‍රක සාහිත්‍යයේ එන ත‍්‍රයාකාර ඉරණම් ස්වභා(The three Fates of Classiacal Greece) බාබායිගාගේ මෙකී ස්වභාවයන් ති‍්‍රත්වයට සම සේ සලකනු ලැබේ. පළමු වේශයට අනුව ඇය සශී‍්‍රකත්වයේ දෙව`ගන වශයෙන් නව ජීවයක් ලොවට ගෙන එන කාරුණික තැනැත්තියක ලෙස දිස් වේ. ඇගේ දෙවන වේශයේ දී මානුෂීය දිවියේ අනුක‍්‍රමික ගලායාම ඔස්සේ තම චරිතයේ යහපත් පාර්ශ්වය මෙන් ම කෲරතර පාර්ශ්වය ද බාබායිගා සිතියම්ගත කරයි. මිනිසුන් මරුමුව පත්වන දිනය තීරණය කරන්නියක වශයෙන් තෙවන වේශයේදී ඇය කි‍්‍රයාත්මක වේ. මෙය බහුලව දැකිය හැකි ස්වරූපයකි. නව ජීවිතයක්  උත්පත්තිය සඳහා මිහි මතට එවීමටත් නැවත මුල් තත්ත්වය කරා යැවීමටත් ඇයට බලය ඇත. සෞභාග්‍යයේ උදාව වෙනුවෙන් ඇය කුඩා දරුවකුගේ බිල්ලක් අපේක්ෂා කරන අතර ප්ලූටෝ (Pluto) මෙන් භූමිය සතු වස්තුව සහ සම්පත් පාලනය කිරීමට ද සමත් වේ. මීට අමතරව ඇය අපායේ ආරක්ෂකයෙකුගේ භූමිකාව ද දරයි.  අලූත උපන් පුද්ගලයන් සඳහා ආත්ම බොදාහැරීම හෝ ඒ ආත්ම නැවත ජීවයක් නොලැබෙන සේ නරකයේ ම රඳවා තබා ගැනීම හෝ සිදුවන්නේ ඇගේ අභිමතය පරිද්දෙනි. ඇතැම් අර්ථාචාර්යවරුන් පවසන පරිදි බාබායිගාගේ පැල වටා ඇති අස්ථී කොටස් මගින් පැහැදිලිවන්නේ ඇය භූත ලෝකය සම`ග පවත්වන සබඳතාවෙහි ශක්තිමත් ස්වරූපය යි. ඇතැමුන් සඳහන් කරන්නේ ජීවත්වන්නවුන්ගේ හා මළවුන්ගේ ලෝක මුණගස්වන ආස්ථානය බාබායිගාගේ නිවහන මගින් වඩාත් සුරක්ෂිත කරන බවයි. ඇතැම් අවස්ථා වලදී ඇය මිනිසුන් පරලොව යැවීම පසෙක තබා ඔවුන්ට කාරුණික වන්නේ ද ගී‍්‍රක සර්බිරස් (Cerberus) මෙන් මළවුන්ට ගැළවී යාමට නොදී නවතා තබා ගන්නේ ද මේ හේතුව නිසාය. අපායේ දොරටුව ඉදිරියේ බිම දිගා වී ඇගේ බිල්ල පැමිණෙන තෙක් කට අයා බලා සිටින බවට මත පවතී. ඇගේ මුඛයේ තියුණු ලෝහමය දත් අතර සෙවණේ රැඳී සිටිය නොහැකි අවාසනාවන්ත පුද්ගලයන්ව ඇය ගිල දමන බව කියැවේ.

‘ලස්සන වසිලිස්සා’ (Vasilissa the Beautiful) සුරඟන කතාව බාබායිගා යකින්නගේ කාරුණික සහ අකාරුණික පාර්ශ්ව මෙන් ම ඈ සතු බලය ද පැහැදිලිව පෙන්නුම් කරන්නකි. මේ කතන්දරයට අනුව මායාකාර බබායිගා  අසරණ වසිලිස්සාට ප‍්‍රකෘති ජීවිතයේ දී මිනිසෙකුට ඉටු කිරීමට අපහසු කටයුතු රාශියක් පවරයි. ඒවා කිරීමෙහි ඇය අසමත් වුවහොත් කා දමන බවට ද තර්ජනය කරයි. එහෙත් පැවරූ කාර්යයන් සියල්ල ම මනාව ඉටු කළ බව දැනගත් බබායිගා ඇගේ කෲර කුඩම්මා සහ දියණියන්ගෙන් මිදිය හැකි මායා මිනී ඔලූවක් වසිලිස්සාට පිරිනමයි. ‘නුවණක්කාර වසිලිස්සා’ (Vasilissa the Wise) නම් කතන්දරයේ දී මායාකාරියගේ ස්වාභාවික ගති ලක්ෂණ ඉස්මතු වේ. එනම් එහිදී ඇය විසින් තරුණ ඉවාන්ට ඇගේ බිරිඳ වන නුවණක්කාර වසිලිස්සා ලබාගන්නා ආකාරය කියා දෙයි.

මකර සබඳතා

            රුසියානු පුරාවෘත්තවල සඳහන් පරිද්දෙන් බාබායිගා සර්පයන් සහ  මකරුන් සමග සමීප සබඳතා පවත්වයි. මනුෂ්‍ය වේෂයෙන් සිටින අමරණීය කොෂ්චෙයි මකරා(Koshchei the Deathless) ගේ දෛවය සහ ඔහුගේ කටයුතු සඳහා උපදේශ සපයන්නේ බාබායිගාගේ පෙර කී ද්විත්ව ස්වභාවය යි. ඇය එම මකරාට අමරණීයත්වය පවරා දුන්න ද ආත්මයක් ලබා දීමෙන් ඔහුව එම තත්ත්වයෙන් මුදවයි. හිස් ගණනාවක් සහිත ගිනි පිඹින චුඩෝ-යුඩෝ (Chudo-Yudo) නම් මකරා සතු බලය මෙහෙයවන්නේ ද බාබායිගා විසිනි. මේ මකරා සැලකෙන්නේ බාබායිගාගේ නෑ පරපුරෙන් පැවත එන අශෝභන අයකු ලෙසිනි. එමෙන් ම ඇගේ මාර දූවරුන් වන වෙළඹියන්ගේ සොහොයුරෙක් වශයෙනි.

බාබායිගාගේ වෙළඹියන්

            පුද්ගල නාමයන් ලෙස ඉදිරිපත් නොකරන ලද දරුවන් කණ්ඩායමක් බාබායිගාට සිටී. ඔවුහු සියල්ලෝ ම සිය මව මෙන් ම අද්භූත ස්වභාව දරති.  ඔවුන්ගේ උපත සිදුවී ඇත්තේ උරගයින්, සිවුපාවුන් සහ විවිධ ආත්ම ඇයත් වෙළඹියනුත් (Mare Daughters) හා සංවාසයේ යෙදීමෙන් යැයි කියවේ. මෙකී වෙළඹියන් ‘මරියා මොරෙව්නා’ (Maria Maorena) නම් එක්තරා රුසියානු සුරංගනා කතාවක දී හමුවේ. එම කතාන්දරයට අනුව එක් තරුණයෙක් තම මනාලියව සිරකරගෙන සිටින රාස්සයාගෙන් මුදවාගැනීම පිණිස අසකු කැටුව යයි. අසු ආරක්ෂිතව රඳවා තබාගැනීම සඳහා ඔහු බාබායිගාගේ උපකාරය පතා එම පැලට යයි. ඇගේ පැලට ළඟාවෙත් ම ඒ වට කොට ඇති මිනී හිස් සහිත වැට දකින ඔහු එහි එක් කණුවක් පමණක් හිසක් නොමැතිව තිබෙනු දැක ඒ ඇයිදැයි බාබායිගාගෙන් විමසයි. තරුණයාගේ වීරකි‍්‍රයාවට අවශ්‍ය වෙළඹියන් තමා ලබාදෙන බවත් සිය කටයුත්ත ඉටු කළ වහාම මරණයෙන් ගැළවී සිය මනාලිය ද ලබාගෙන පැය විසි හතරක් ඇතුළත ආරක්ෂිතව පැමිණ නැවත ඇයට ම ලබා දිය යුතු බවත් එසේ නොදුණි නම් ඔහුගේ හිස ඒ ඉතිරි වැට කණුවේ එල්ලීමට සූදානම් බැවින් එසේ තැබූ බවත් ඈ පවසයි. කතන්දරයේ වීර තරුණයා සිය කටයුත්ත සාර්ථකව ඉටු කරන අතර බාබායිගාගෙන් ජවසම්පන්න අශ්වයකු ද තෑගි ලබා මරියාව ලබා ගැනීමේ ප‍්‍රයත්නය ද සපුරා ගනී.

^Mike Dixon-Kennedy  විසින් රචිත Encyclopedia of Russian & Slavic Myth and Legend කෘතියෙහි  එන Baba-Yaga යන ලිපියෙහි අනුවාදයකි.&

Recommended For You

About the Author: Editor(A)