නිල් සුළිය

එයා තාම නිදි. මම කීප වතාවක්ම කාමරයට එබිලා බැලූවා. ඒත් කිසි හැලහොල්මනක් නෑ. පාන්දරජාමෙත් පහුවෙනකල් ඇහැරලා හිටපු නිසා වෙන්නැති. දොර රෙද්ද අස්සෙන් ඈ දෙස බලපු වතාවල් වැඩි නිසා මම කුස්සිය පැත්තට ගියෙ මොනව හරි කන්න. අම්මයි අහලපහල ගෙවල්වල ගෑනු කීප දෙනෙකුයි මොකක් නමුත් බර කතාවක. මට තවත් ඉදිරියට යන්න  ඕනෙ වුණේ නෑ. බලපු බැල්ම ගිහින් නැවතුණේ පෝරණුවෙ ලිග්ගල් තුන මත. පරණ අලූයි, වටේ පිළිණු වෙමින් තිබුණු වළං කීපයයි මගෙ ප‍්‍රශ්නෙට පිළිතුරක් දුන්න. අංශ 180ක් ආපස්සට හැරිලා ආයෙත් සාලෙ පැත්තට යන්න හදද්දියි දැක්කෙ තස්ලිමා නැන්දගෙ කඳුළු. විමසන්න, ළතැවෙන්න කියලා වෙලාවක් තිබුණෙ නෑ. මම වේගය බාල කරපු හැරීම හිමින් හිමින් හරි දිගටම හැරිලා සාලෙ පැත්තට ඇදුණා. ආයෙත් දොර රෙද්ද මෑත් කළා. තවමත් ඇය නිදි. ඒත මට යන්න හිත දුන් නෑ. සිටිපියෙන් ම හිටියා.  මට තේරුණා මගෙ දෘෂ්ටියේ අඛණ්ඩ බව වෙනසකට භාජනය වෙනවා කියලා. ඒත් එක පාරට ම හිතන්න බෑ ඇත්තට ම එහෙම දෙයක් වෙනවද නැත්නම් මගෙ දෘෂ්ටි රේඛා චලනය වෙනවද කියලා. නෑ… ඇත්තටම ඇයගේ ගැස්මක් පේනවා. මට හිතුණ තව ටිකක් කිට්ටුවට යන්න. ගියා නෙවේ ඉබේ ම වගේ මම ඈ වෙත යැවුණා. මුනින්තලා නිදා සිටි ඇගේ පිට රිද්මයානුකූල ගැස්මක. මම තවත් ටික වෙලාවක් ඒ දිහා බලාන ඉඳලා  බැරිම තැන ඇයට කතා කළා.

”ෆා..තිමා”

ඒ ඉරියව්වෙ කිසිම වෙනසක් සිදු වුණේ නෑ. ඒ වෙනුවට අර ගැස්ම වේගවත් වුණා. ඊළඟ තත්පර කීපයේදි හීන් ඉකියක් බවට පෙරළුණා.

”ෆාතිමා”

ඒත් ඇය හැරුණෙ නෑ, ඉකිය හැඬුමක් බවට හැරුණා.  මගෙ පපුවත් වේගෙන් ගැහෙන්න ගත්තා. මම දන්නෑ කොහොම වුණාද කියලා. ඊළඟ මොහොතෙ ෆාතිමා මගෙ උරහිසට බරදීලා ඉකිගහනවා. පළමු ක්ෂණයෙ ගැම්මෙන් ම මම ඈව ඇඳේ ඉන්දුවා. මොහොතකින් මගෙ අත්ලට දැනුණු දේ සැක සහිත නිසා ඇයගෙ හිස අතහැරලා අත්ල මගෙ දෑස් මානයට ගෙනාව. සැකය හරි බව තේරුණා. ඒත්… ඒත් එකපාරටම වැටහෙන්නෙ නෑ මගේ අත්ලට උණු ලේ කොහින්ද කියලා.

”ෆාතිමා මේ බලන්න. ඔයාගෙ ඔළුව තුවාල වෙලා වගේ… මේ බලන්න මගෙ අතේ ලේ..”

ඒකි නොබලම මගෙ අත ගසල දැම්මා.

”ඔයාට තේරෙන්නැද්ද මං කියන දේ ෆාතිමා. ඔයාගෙ ඔළුව තුවාල වෙලා.. ”

”මට ඉන්න දෙන්න”

”…..? මම මොකද්ද කළේ ඔයාට?”

ෆාතිමා එයාගෙ වම් කන මගෙ පැත්තට හැරෙව්වා.. මගෙ දෙවියනේ! කන් පෙත්ත ඉරිලා පරණ ලේ කැටි ගුලි ගැහිලා.. ඒ කැටි සෝදමින් අලූත් ලේ ගංගාවක් ගලන්න පටන් අරන්. එතකොටයි මට තේරුණේ මං එයාව නිදි ඉරියව්වෙන් ඇදලා අරං ඉන්දවද්දි කලිං තුවාලෙ පෑරෙන්න ඇති බව.

”ඉන්න ෆාතිමා, අනේ මට සමාවෙන්න…” මට කියාගන්න ලැබුණෙ එපමණයි. මුව ගොළු වුණා. අපි දෙන්නගෙම ඇස් එකට එක ගැටුණා. ඒ වෙලාවෙ මට කියා ගන්න දෙයක් තිබුණෙ නෑ. එයාටත් එහෙමද දන්නෑ.. හැබැයි ඒ ඇස්වල බරසාර වේදනාවක් එක්ක වෛරයක් රැඳිලා තිබුණ කියලා මට පස්සෙ හිතුණා. ඒ මූණෙ සටහන් වෙලා තිබුණෙ ලේ ගලන තුවාලෙන් ආපු වේදනාව නෙවේ කියලා මට තේරුණා. මම ඉකි ගහන ෆාතිමාව ඇඳ විට්ටමට හේත්තු කරලා කුස්සියට දිව්වා.

”පුතාගෙ අතට මොකද වුණේ? තුවාලද?”

ඒ පාර අම්ම කලබලවෙලා… අම්ම හිතුවෙ මගෙ අත තුවාල වෙලා කියලා. මගෙ අතේ ගෑවිලා තියෙන්නෙ වෙන කෙනෙක්ගෙ රුධිරය බව අම්මට තේරෙන්නැද්ද? ඒ තරමට ම ලේවල ස්වරූපය සමානයි. ඒ ලේයි මේ ලේයි අතර කිසිම වෙනසක් නොපෙනෙද්දිත් දිගට හරහට ඇවිලෙන ගින්න ගැන නිර්වචනයක් හදා ගන්න මට තියරි තිබුණෙ නැති තරම්. ඊයෙ මහ ? පටන් ගත්තු දඩයම කාලයක් තිස්සෙ ඉව අල්ලමින් උන්නු ලේ මාපිලූන්ගෙ කුමන්ත්රෙණයක ප‍්‍රතිඵලයක් නොවෙන්න අද මගෙ අතේ ලේත් නෑ, මගෙ ඇදේ ෆාතිමත් නෑ.

”ෆාතිමාගෙ කන තුවාල වෙලා…”

තස්ලිමා නැන්ද නෙවේ කලබල වුණේ. ඒ වෙනුවට බිත්තියට පිටදීලා හිටිය ඇගේ පංචස්කන්ධය බිත්තිය දිගේ ම හෙමි හෙමින් පහළට රූටමින් ඉන්ද වුණා. තස්ලිමා නැන්දගෙ ගොළුවත කොයි තරම් බර ද කියලා මට තේරුණේ එයා හිටගෙන හිටපු තැන බිත්තියේ ඇඳුණු පාර දැකලා. ඇඳගෙන හිටපු බුර්කාව විදගෙන කෝටු ගැහුණු පිට කොන්ද අස්ථි පඤ්ජරයත් එක්ක ම බිත්තියේ සටහන් වෙලා තිබුණා. ඒ පමාවට අම්ම කාමරේට දුවලා. නැන්ද තාමත් කලින් ඉරියව්වෙමයි. මමත් පිම්මෙ දිව්වා. මම දොර රෙද්ද මෑත් කරන් ඇතුළට යද්දිත් අම්ම තෙත රෙදි කෑල්ලකින් ෆාතිමාගෙ කන තවනවා. ඒ රෙදි කෑල්ලයි, ප්ලාස්ටික් මැටි කෝප්පෙයි කලින් රතෙන් ම වර්ණවත් වෙලා තිබුණා.

”ආ…හ්ව්…”

”කාලකණ්ණි… ”

”..හ්ආහ්…ම්….ආහ්….”

”පුතේ බේත් පෙට්ටිය අරං වරෙන්. මුං කෙල්ලගෙ කන කාලා.  ”

”කොහොමද ෆාතිමා කන තුවාල වුණේ” ෆාතිමා කිසිවක් නෑහුණ ගානට හිටපු නිසා මම අක්කගෙ කාමරේ තිබුණු බේත් පෙට්ටිය ගෙනත් ටිකක් සද්දෙට ටීපෝවෙන් තිබ්බ. එයා හැරිලා බැලූවා. ආයෙමත් අනිත් පැත්තට හැරිලා ඉකි ගහන්න ගත්තා.

”අප්පට ගාද්දි මං කෑ ගාලා උංගෙ ඇඟට පැන්න. ඒ වෙලාවෙ ඌ මගෙ තෝඩුවෙන්…” වාක්‍ය ඉවර නොකර ම ඇය ඉකි ගහනව. මං වගේ ම අම්මත් හිත ඇතුළෙ වාක්‍ය සම්පූර්ණ කර ගන්න ඇති.

අම්ම ඉරිණු කනට බෙහෙත් දාලා ප්ලාස්ටර් ගහද්දි මගෙ ඇහි බෝලවලට අමුත්තක් දැනෙමින් තිබුණ. ඒක කොයි වගේ ද කියලා විස්තර කරන්න අමාරුයි. ඇසුරු සැණෙකින් ෆාතිමාගෙ තුවාල වුණ කන් පෙත්ත තද නිල් පාට වෙන්න ගත්තා. ටිකෙන් ටික වැඩි වෙලා මුළු කනම නිල් පාට පටලයකින් වැහිලා ගියා. ඒත් එක්ක ම ඇස්වලට දැවිල්ලක් ගෙන එමින් නිල් මීදුම් පටලය දිය සුළියක් වගේ කැරකිලා ඇගේ කන ඇතුළට ඇදෙන්න ගත්තා. මොහොතකින් මුළු කාමරයම ඝන නිල් මීදුමෙන් වැහිලා මාව කරකවන්න ගත්තා. මුලින් ම අම්මගෙ අතේ තිබුණු තෙත රෙදි කෑල්ල වා සුළියට අහුවෙලා ෆාතිමාගෙ කන ඇතුළට ඇදිලා ගියා. ඊට පස්සෙ ප්ලාස්ටික් මැටි කෝප්පෙ. ටීපෝ එක, මල්වාස් එක, මගෙ මේසෙ උඩ තිබුණු පොත්, තවත් මොන මොනවදෝ දේවල් නිල් අන්ධකාරෙ ඇතුළෙ ඇගේ කන ඇතුළට ඇදිලා ගිහින් අන්තරස්දාන වුණා.  අම්මගෙ ඡායාව පෙනී නොපෙනී යමින් මාවත් කරකැවෙනවා වගේ මට තේරුණා. කොච්චර කාලයක්ද කියන්න බැරි වුණත් කැමරාවක් ෂටර් වෙන මොහොතක් වගේ ඉතා සුළු මොහොතකින් මාවත් ඇදිලා ගියා. ඒ අත්දැකීම බියකරුයි. කෙටි වැකියකින්වත් දිගු වැකියකින්වත් කියලා නිම කරන්න බැරි තරම් බියකරුයි. අපි ඇදිලා ගියේ කරකැවෙමින් විශාල ආගාධයක් ඇතුළට කියලයි මට හැඟුණෙ. ඒ ගමන අතරතුර එකිනෙකා හැපෙමින්, වැළපෙමින් අසීමිත භීතියකින් නගන ළතෝනිය ඔඩිසියස්ව වුණත් සලිත කරනවා. නිල් සුළියට අහුවුණ වුන් අතර පිටත ලෝකයේ නිර්වචනවලට අනුව නම් එක ම ප‍්‍රාණියා මම විතරයි. ඒත් අපි හැමෝ ම ළතෝනි තිබ්බ. හැමෝට ම කටහඬක් තිබුණ. හැමෝ ම එකිනෙකාගෙ ඇගේ හැපුණා. වේදනා වින්ද. මගෙ පුංචි ටීපෝව නගපු කෙඳිරිය පපුව දවන තරම් සංවේග ජනකයි. මේසෙ තිබුණු හැම පොතක් ම කියවලා තිබුණෙ නැති නිසා ඔවුන් නගපු ළතෝනි කාගෙ කාගෙ ඒව ද කියලා වෙන් කරලා අඳුන ගන්න මට බැරි වුණා. මට යාන්තමට වගේ ඇහුණ නලින්ද සිල්වාගෙ හඬ.. ඔහු මගේ ලෝකය අස්සෙ ඉඳන් මොන මොනවදෝ මුමුණනවා. එකපාරට ම කරකැවිලා ආපු හාඩ්කවර් පොතක් මගේ නළලේ වැදිලා මාව පස්සට විසි කළා. වේගෙන් ආගාධ ගත වෙමින් තිබුණු ෆාතිමාගෙ සීතල වුණු ලේ සහිත රෙදි කෑල්ල මගෙ ඔළුවට වැටුණෙ ඒ අස්සෙ. මම ඒක අතට අරං තරහටත් එක්ක ගුලිකරලා අර පොතට දමල ගැහුවා. සැරපරුෂ ගැඹුරු හඬක් නගාගෙන පොත මොකද්දෝ දෙබසක් කියන්න පටන් ගත්තා…

”මේ අප වෙසෙන්නේ විශ්වයේ තවත් එක් සමයක

මේ නැගී සිටින්නේ අපගේ ආධ්‍යාත්මය දැයි බලන්න

මෙය අපගේ ම ආධ්‍යාත්මය නොවේ නම් වෙනයම් බලයක් ද?

මෙය වටහා ගත යුතු නොවන්නේ ද?…”

ඒත් එක්කම ”ස්ලාං…..” ශබ්දයකින් කරකැවිල්ල නතර වුණා. එක දිගට කරකැවුණු නිසා වමනෙ යන්න වගේ. මම බිම දිගා වුණා. වැඩි වෙලාවක් ගියෙ නෑ මාත් එක්ක ආගාධ ගත වුණු පොත් ටිකයි අනිත් ආම්පන්නයි එකින් එක වටේට වැටෙන්න ගත්තා. ආයෙමත් සැරයක් තෙත රෙදි කෑල්ල වැටුණෙ මගෙ ඔළුවට. සේරම ගසල-බසල දාලා ටීපෝවට බර දීලා ඉඳගත්තමයි මම දැක්කෙ ඉන්නෙ කොහෙද කියලා. ගමේ පන්සලේ බෝ මළුව. පුදුම සිසිලසක් එක්ක පපුව කාරවල යන කෙමිකල් ගඳක් ආව. ආගාධ ගතවීමෙන් මම ගොඩක් තෙහෙට්ටුවට පත් වෙලා හිටියෙ. අමාරුවෙන් නැගිට ගත්තු මම බෝධීන් වහන්සේ වටා පැදකුණු කළා. මඟක් යද්දියි මීටර් වුණේ පැත්ත වැරදියි නේද කියලා.

”වාමාංශිකයොනෙ ඔන්න ඔහෙ අවුලකුත් නෑ…”

මම ගැස්සුණා. කවුද ඒ අස්සෙ? කෙනෙක් හොයා ගන්න නැති තරම්. ඇහෙන මානෙක කවුරුත් ම නෑ. කොළ පාට ගස් ගොන්න අස්සෙන් තද තැඹිලි පාටට හැදීගෙන එන පිළිම පේළියයි, පහළ මළුවෙ ඒව පාට කරන පේන්ට් බාස්ලයි තමයි. ඒ ඇරෙන්න වෙන කවුරුත් පේන්න නැති නිසා මම හිතුවා ආගාධගතවීම නිසා හැදුණු කරකැවිල්ලෙ ප‍්‍රතිඵලයක් වෙන්න ඇති කියලා. ආයෙමත් අර අළුත පාට කරන පිළිමවලින් එන සැර ගන්ධය මගෙ නාස් පුඬු විනිවිදින්න ගත්තා. 

”වාමාංශිකයොනෙ ඔන්න ඔහෙ අවුලකුත් නෑ…”

ආයෙත් අර කට හඬ!

” ඕහ්….!” ඒක එන්නෙ මාත් එක්ක ම ආගාධගතවුණු අලූත් කවි පොතකින්.  කියවන්න තරම් වටින පොතක් නෙවේ කියලා හිතුණු නිසා මම ඒක පැත්තකට දාලයි තිබුණෙ. පොත අතට අරං නිකමට වගේ බලන්න හිතුණත් බඩගින්න ඒකට හරස් වුණා. මම දිගටම වම් ඇලයෙන් බෝධීන් වහන්සේ පැදකුණු කළා. අටවිසි බුද්ධ ප‍්‍රතිමා ඉවර වෙන තැන, හරියට ම දීපංකර බුදුන් අභියස මම නැවතුණා.

”සම්මා සම්බුදු අමාමෑණි දීපංකර බුදුනි, මට නියත විවරණ දුන මැනවි…..”

මම කාගෙන කාගෙන ගියා. සෑහෙන වෙලාවක් බඩගින්නෙ හිටපු නිසා තුන්වෙනි බත් ගුලියට උගුර බැරියර් දැම්මා. ගිලන්පස උගුරක් බීලා ආයෙත් කන්න ගත්තා. දීපංකර බුදුන්ගෙන් නියත විවරණ අරං මම එතනම වැලි මළුවෙ ඇල වුණා.

* * *

”මගෙ කෙල්ලගෙ ලස්ස ගානක රත්තරං බඩු තිබුණා… ඒව සේරම අරං ගිහිං… පුතාට පතල් වැඩ කරල හම්බුණු දලං කෑලි ටික අල්මාරියේ දාලා තිබ්බා… ඒ සේරමත් අරං ගිහිං සර්… අයියෝ….! අල්ලා මේව බලන්නෝනෙ…….”

අපිත් එක්ක එක පංතියේ හිටපු අනුර්දීන්ගෙ අම්ම මහ විසාල හුස්මක් අල්ලගෙන කියාගෙන කියාගෙන යනවා. පොලිස්කාරයා පැමිණිල්ල ලියනවා. ඒත් උන්දැ කියපු තරම් දිග වාක්‍ය පොලිස් පොතේ නොලියවුණු බව මම දැක්කා. පැමිණිල්ල ලියන නිලධාරියා කපා කොටා සංස්කරණය කළ වාක්‍ය විතරක් පොතට ඇතුළු වුණා.

”මගෙ කුකුල්ලූ දෙන්නයි කිකිළියිත් අරං ගිහිං මහත්තයෝ….!” ඇය විලාප තබයි.

ඇහි අග්ගිස්සෙ තැවරිලා තිබුණ කඳුළු තට්ටු උඩින් තවත් කඳුළු දහරාවක් පහළට ඇදෙද්දි අනුර්දීන්ගෙ අම්මට සහිය නැති වුණා. ඒත් එක්කම වගේ  ඕඅයිසීගෙ කාමරේ ඉඳලා එළියට ආපු තප්පදෝරුවෙක් මාව ඇදං කොරිඩෝවක් දිගේ යන්න පටන් ගත්තා. යකඩ මාංචුවලට හිරවෙලා තිබුණු අත්දෙක කකියනවා. තඹේක අනුකම්පාවක් නැතිව මූ මාව බෙල්ලෙන් අල්ලලා කූඩුවකට තල්ලූකරලා දාලා දොර වැහුවා. ටික වෙලාවක් යද්දි අපේ සෙට් එකේ ම හිටපු කොල්ලො අට දෙනෙක් මම හිටපු කූඩුවට ම ගෙනත් දැම්මෙ කලිං තප්පදෝරුවාමයි.

ඒ වෙලාවෙ කූඩුව ඇතුළෙ කතාවුණ දේවල් ඒ තරම් වැදගැම්මකට ඇති ඒව නෙවේ. හවස් වෙද්දි එළියට පනින්න පුළුවං වෙයි කියන එක නම් හැම දේකට ම වඩා වැදගත්. මම වරදක් කරලා තිබුණෙ නෑ. ඒත් ඇතුළට දැම්මට පස්සෙ එහෙමත් ඉක්මනින් එළියට පනින්න පුළුවංද? තප්පදෝරුවා කිව්ව විදියට හෙට  ඕඅයිසී අපිව උසාවි දානවා. එහෙම නැතුව ගමේ යන්න වගේ බලූ කූඩුවෙන් එළි බහින්න බැරි වෙයි මයෙ හිතේ. හිත හදාගන්න  ඕනෙ නිසා මුං සිත නිවන කතා කියනවා. මට කට කොනකින් හිනා ගියා.

කළුවර වැටුණා. කොරිඩෝවට ලයිට් තිබුණට අපේ ඉහට උඩින් බල්බ් එක පත්තු වුණේ නෑ. ඈතින් පේන වා කවුළුවකින් එළියෙ අඳුර තව තවත් බලූ කූඩුවට කාන්දු වෙනවා. මමයි අනිත් බල්ලෝ අටදෙනයි හාවක් හූවක් නැතිව ඔහේ වැටිලා නිදා ගත්තා. නින්ද යාගෙන එද්දි දොර අරින සද්දෙට අපි කීප දෙනෙක් ම ඇහැරුණා. තප්පදෝරුවා.

”එක එකා වරෙල්ලා.”

තප්පදෝරුවයි තවත් නිලධාරීන් දෙන්නෙකුයි අපි එකා බැගින් එළියට අරං මාංචු දාලා පෝලිං කළා.

”මේ ? උසාවි නග්ගන්වත් ද? ”

මම ළඟ ම හිටපු බල්ලගෙන් ඇහුවත් ඌ උත්තරයක් නොදී වේස හිනාවක් දැම්මා. මං එතෙකින් කට වහගෙන මොකකින් මොකක් වෙයිද බලං හිටියා. ටික වෙලාවක් ගත වුණා. ඈතින් පේන වා කවුළුවෙන් තවත් ටිකක් අඳුර ගලන්න ගත්තා. ඒ අඳුර අපි පහුකරගෙන කෙලින් ම ගියේ බලූ කූඩුව ඇතුළට. තවත් ටික වෙලාවකින්  ඕඅයිසීයි, තවත් කවුදෝ සුදු කලිසම්-කමිස ඇඳපු මිනිහෙකුයි අපි ඉන්න පැත්තට ආව. ”ඔහ්… මන්ත‍්‍රී” දුර නිසා අඳුනගන්න බැරි වුණා. බල්ලො ටික වල්ග වනන්න ගත්තා. සෙම පෙරන්න ගත්තා. මගෙ ළඟින් ම හිටපු බල්ලාගෙ, කට දෙකොනෙන් සෙම වැක්කෙරෙන්න පටන් ගත්තා. මන්ත‍්‍රී  අතේ තිබුණු කවරෙන් එළියට ගත්තු මස් කටු අටක් පේළියට හිටපු අපි ඉස්සරහින් දැම්මා. මට නෑ. මම මන්ත‍්‍රීගෙ මූණ දිහා බැලූවත් මිනිහ මාව දැක්කෙ නෑ. තව මස් කටු කීපයක් කවරෙ ඇතුළෙ ඉතිරිව තියෙනව මම දැක්කා. බල්ලො අට දෙනා සෙම පෙරාගෙන බිම ඉඳං මස් කටු ලොවනවා. මම හිටගෙන සැරෙන් සැරේ මන්ත‍්‍රී දිහායි, මස් කටු උරේ දිහායි, බල්ලො අට දෙනා දිහායි බලමින් හිටියා. මම බලා ඉද්දිම මන්ත‍්‍රීගෙ අත ආයෙත් කවරෙ ඇතුළට ගියා. මම ට‍්‍රයි කළා කට දෙපැත්තෙන් සෙම ටිකක් පෙරා ගන්න. ඒක හිතන තරම් ලේසි වුණේ නෑ. මස් කට්ට  ඕඅයිසීගෙ දත් ඇන්ද අස්සෙ හිර වුණා. ඉතිරි කීපය ටිකක් එහායින් හිටපු නිලධාරීන් ගාවට විසි කරපු මන්ත‍්‍රී හැරිලා යන්න ගියා. නිලධාරීනුත් බිමට පාත් වෙලා මස් කටු කන්න පටන් ගත්තා. පහළට නැමෙද්දිම තප්පදෝරුවගෙ කටින් බේරුණු සෙම තලියක් මස් කට්ටට වැටිලා උඩින් දාපු බටර් තලියක් වගේ ලයිට් එළියට දිලිහෙන්න වුණා.

මස් කටු කෙළිය ඉවර වුණා. ආයෙත් බලූ කූඩුවට. මෙදා පාර මම විතරයි බල්ලා. අනිත් සේරම මන්ත‍්‍රීගෙ කීමට පිටමං කෙරුණා. ”හවස්වෙද්දි එළියට පනින්න පුළුවං” කතාවෙ ඇත්ත-නැත්ත දැනුයි මට තේරුණේ. ඇට්ටේරියා පොල්ල තම්බි කඬේ මුදලාලිගෙ ඔළුව බදා ගන්න කලිං ඇදල ගත්තෙ මම. ඒ පාපෙට මං බලූ කූඩුවේ ලගිනවා. ඔළු පලන්න පොලූ උස්සපු උං මස් කටුත් කාලා, ඒ මදිවට එළියටත් ගිහිං. කොහොම වුණත් එදා මම බෝ මළුවෙ නිදා ගත්තු පාපෙට මේ වන්දිය ගෙවන්න වුණා වෙන්න බැරිද? ඒත් දෙයියනේ බුදු හාමුදුරුවො සතියක් ම බෝ ගහට හේත්තු වෙලා හිටියෙ. පිටකොටුව බෝ ගහට හිඟන්නො කොයි තරම් නම් චූ කරනවද? එහෙව් එකේ මම පැය කීපයක් නිදා ගත්තම මක් වෙනවද? කෝක වුණත් දැන් සිද්ධ වෙලා හමාරයි. හෙට විලි ලැජ්ජ නැතුව උසාවි නගින්නත් වෙලා.

”අඩෝ…. ”

එළියෙන් සද්දයක්. මම ඉඳං හිටපු තැන එහෙමම නැගිටලා කොරිඩෝව පැත්ත බැලූවා. ආ.. තප්පදෝරුවා.

”ඇවිත් බත් එක ගනිං…”

මට අම්මගෙ පදේ මතක් වුණා. ”තෝ කාටද කැරියො කතා කරන්නෙ. කූඩුවෙ හිටියට බල්ලෙක් කියලා හිතුවද?” ඒත් මම මොකුත් ම කිව්වෙ නෑ. හිත යටින් මුමුනගෙන යකඩ කූරු යටින් බත් පිඟානයි, වතුර කෝප්පෙයි ගත්තා. ආයෙත් හිටපු තැනට ම ඇවිත් බත් එක මුල්ලකින් තියලා වට තුනක් කැරකිලා ඉඳගත්තා.

මහන්සියයි, බඩගින්නයි නිසා දසබස ගාලා බුද්ධ පූජාව ගිලලා මම ඊයෙ වැලි මළුවෙ ඇලවුණා මතකයි. ආයෙ ඇහෙරෙද්දි පාන්දර ජාමෙ වෙලා. පාන්දර ජාමෙ ඇහැරුණා නෙවේ, බෝ මළුව පහළින් ඇහුණු ගාලගෝට්ටියටයි ඇහැරුණේ. මම දනිපනි ගාලා ඉඳ ගත්තා. නිදි ගැට කඩලා පියවි ලෝකෙට එද්දි ම නමෝවිත්තියෙන් නහයට දැනුනෙ හැදීගෙන එන පන්සීයක් පිළිම වහන්සේලගෙ අලූත් කෙමිකල් ගඳ. දෙවෙනි වතාවෙ ඇඟමැලි කඩන්න හම්බුණේ නෑ. අර ගාලගෝට්ටිය මෙන්න බෝ මළුවට පැන්නා. එක රොත්තට පොලූ මුගුරු අතින් ගත්තු පිරිමි. කොල්ලො, නාකි, මැදිවියේ උං, මේ ඔක්කො ම පනහක විතර සෙට් එකක්. මට කරගන්න දෙයක් තිබුණෙ නෑ. ඇහි පිල්ලන් ගහන වේගෙට වෙන්න යන්නෙ මොකද්ද කියලා මට තේරුණේ නෑ. කොටින් ම මම ඇස් පිහදාලා බැලූවා. අත් දෙක කොනිත්තන් බැලූවා. හීනයක් නෙවේ. මේක හැබෑවක්. මමත් නැගිටල කඩු-පොලූ ගැන්සියට එකතු වුණා. මොකක් හරි හේතුවකින් චූන් වෙලා හිටපු උංට මගෙ වගක් තිබුණෙ නෑ. එකා දෙන්නා මගෙ කරට උඩින් අත දාන්නත් පටන් ගත්තා. ටිකකින් ලොකු හාමුදුරුවො බෝ මළුවට වැඩියා. සේරම මීයට පිම්බා වගේ. ‘හ්ම්’ සද්දයක් නෑ.

”සියලූම දෙනා සාධුකාරයක් දීලා නමස්කාරය කියන්න….”

මේ මොන මගුලක් ද? කඩු-පොලූ ගත්තු මිනිස්සු පඤ්චසීලයේ පිහිටුවන්න හාමුදුරුවන්ට පිස්සු ද? නෑ හැබැයි! බුදු හාමුදුරුවො අංගුලිමාලවත් මේ විදියට තමයි දමනය කළේ.  ඕනෙ එකක් කියලා මමත් වැඳගත්තා.

”වාමාංශිකය, පන්සිල් පෑල දොරින් පන්නනු…”

මලලසේකරයයි. ඒ ගමන අර කවි පොත කෑ ගහන්න ගත්තා. වාසනාවට ඒ සද්දෙ අනිත් අයට ඇහිලා නෑ. මම අඩියෙන් අඩිය පස්සට ගිහිං ටීපෝව අරං කරදරකාර කවි පොත උඩින් තියලා ඒ අඩිවලින් ම ආපහු කාණ්ඩෙට එකතු වුණා. පන්සිල් දීලා ඉවරයි. ලොකු හාමුදුරුවො උගුරහෙම පාදලා අනුශාසනාව පටන් ගත්තා.

”ඔය ඇත්තො හොඳින් මේ ටික අහගන්ට  ඕනෙ. බොලා යන්නෙ මිනී මරන්නවත්, අහිංසක මිනිස්සුංට හිරිහැර කරන්නවත් නෙවේ. මේ උතුම් බුද්ධ ශාසනයත්, සිංහල ජාතියත් ආරස්සා කර ගැනිමේ පුණ්‍ය කර්මයට.. ඒ වගේ ම….”

”සා…ධු..! සාධු! සා……!”

”ඒ වගේ ම දුටුගැමුණු මහ රජතුමා කියපු මේ කියමන තොපි එකෙක් නෑර ඔළුගෙඩි ඇතුළෙ රඳව ගන්නව හොඳයි……”

”සාධු… සාධු…..”

සාධුකාරයත්, හාමුදුරුවන්ගේ හීන් ස්වරයෙන්, ඒත් දැඩිව කළ අනුශාසනාව කාගෙ කාගෙත් අත්වල තිබුණු කඩු-පොලූ තව තවත් ඉහළට ඔසවන්න සමත් වුණා. මගෙ ඇස් පනාපිටම එකෙක්ගෙ අතේ තිබුණු තනි පැත්ත කැපෙන කඩුව රතුපාට ආලෝකයකින් දෙපැත්ත කැපෙන කඩුවක් බවට පත් වුණා. මගෙ අතටත් හොඳ කිතුල් පොල්ක් ලැබුණා. ලොකු හාමුදුරුවො අපේ අත්වල තිබුණු ආම්පන්න සේරටෝම පිරිත් පැන් ඉස්සා. මට දීලා තිබුණු කිතුල් පොල්ලෙ අග හීනියට කටු මතුවෙන්න ගත්තා. හිටියට වඩා ගටක් ආව නිසා මමත් කාණ්ඩෙට එකතු වෙලා උං යන දිහාවටම ජාතිය රැක ගන්න ගියා.

වා කවුළුවෙන් එන අන්ධකාරය බලූකූඩුවට එන එක තවමත් නැවතිලා නෑ. බඩගින්නක් දැනුණ නිසා කූඩුවේ කෙළවරට ගිහිං බත් පිඟාන අතට ගත්ත. එතනට කොරිඩෝවෙ එළිය කාන්දු වෙමින් තිබුණ නිසා බත් එක පැහැදිලිව පෙනුණ. මොන මළදානෙ වුණත් මේක තමයි. මීට වෙනස් කෑමක් අද නොලැබෙන බව සක්සුදක් සේ පැහැදිලියි. සුවඳක් කියලා නාමයක් නැති වුණත් බුද්ධ පූජාවෙ බත් ගුලි තුනෙන් පස්සෙ කෑමක් නැති නිසා හිරබත ගිලින්න පටන් ගත්තා. කටවල් කිහිපයක් කිසි හාවක් හූවක් නැතුව ගිලලා දැම්මා. මට දැනුණ මොකක් තමුත් ලෝහමය දෙයක් අතේ පටලැවෙනවා. කොරිඩෝවෙ ඉඳලා බත්පත දිහා බලා උන්නු පඬු ආලෝකය මට කිට්ටු වුණා.

”…! තෝඩුවක්…!”

මගෙ පපුව ගැහෙන්න ගත්තා. ගැස්ම අස්සෙ ම තෝඩුව ඇදලා ලයිට් එළියට අල්ලද්දියි දැක්කෙ ඒක හුදෙකලා වුණු තෝඩුවක් නොවන බව.

”ෆාතිමා…!”

මගෙ කෙළ උගුරු දණ්ඩෙ හිර වුණා. බත් පිඟාන වම් අතෙන් ඔඩෙක්කෙටත්, ඔඩෙක්කෙන් බිමටත් ලිස්සලා ගියා. පච්ච වර්ණ තෝඩුවත් එක්ක කනක යටි කොටසක් එල්ලිලා ආව. ඒ ෆාතිමාගෙ ඉරුණු කන කියලා අඳුන ගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ. මගෙ ඇස් දෙකට දැවිල්ලක් ආවා. ටිකෙන් ටික ඇස් නිලංකාර වෙන්න ගත්තා. තෝඩුවේ එල්ලෙමින් තිබුණු කන් කෑල්ල බලා ඉද්දි නිල් පාට වෙන්න ගත්තා. ආයෙත් අර නිල් පාට මීදුම මාව වෙළා ගත්තා. දැන් බලූ කූඩුව නිල් මීදුමෙන් වැහිලා. ඉවසන්න බැරි තරම් දැවිල්ලකින් ඇස් කෙවෙන්න ගත්තා. මොකක් නමුත් කම්පනයක් වෙමින් තිබුණ කියලයි මට මතක. ලිස්සල ගිය බත් පිඟාන උඩ විසි වෙලා කැරකෙන්න ගත්තා. සුළියක් වගේ බලූ කූඩුව ඇතුළෙ කරකැවුණු බත් පිඟාන මගෙ අතේ තිබුණු කන් කෑල්ල ඇතුළට ඇදිලා ගියා. අර මීදුම් පටලය මගෙ නාසයට ඇතුළු වෙනවා වගේ මට දැනුණ. ඒත් සමඟම හොඳට හුරු පුරුදු ඝන්ධයක් නැහැයට දැනෙන්න පටන් ගත්තා. හරි.. මට මතකයි. ඒ අර අලූත හදන බුදු පිළිමවලින් ආපු සැර කෙමිකල් ගඳ. එතනින් එහාට මට මොකුත් ම මතක නෑ. මාව කන් කෑල්ල ඇතුළට ඇදිලා ගියා ද එහෙමත් නැත් නම් මීදුම මගෙ නහය ඇතුළට ඇදුණ ද,  කිසි ම දෙයක් ගැන මට නිච්චියක් නෑ. අඳුරු ආලෝකයක් එක්ක පියවි ලෝකය පේන්න පටන් ගද්දි මම හිටියෙ මගෙ කාමරේ, මගෙ ම ඇඳේ. ෆාතිමාවත්, අම්මා එයාගෙ කන තෙතමාත්තු කරපු රෙදි කෑල්ලවත් අඩු ම තරමෙ අම්මවත් එතන හිටියෙ නෑ.

”විකාර හීනයක්….” මට ඉබේට ම කියවුණා. පුංචි ටීපෝව උඩ තිබුණු වතුර වීදුරුව ‘ගුඩු ගුඩුස්’ ගාලා උගුරු දෙකට බිව්ව මම ආයෙත් වම් ඇලයට හැරිලා ඇඳේ පතබෑවුණා. ඒ මොහොතෙ ම ඇහේ කළු ඉංගිරියාවට සෙන්ටිමීටරයක් විතර ඉදිරියෙන් බෙඩ් ෂීට් එකමත පැල්ලම් පෝලිමක ඡායාවක් පෙනුන නිසා මම ආයෙත් ඇඳ උඩ ඉඳ ගත්තා.

”….ෆා…ෆාතිමා..”

දීපංකර බුදුන් ඉදිරියේ බත් ගුලි හිරවුණා වගේ මගෙ උගුර හිරවෙන්න ගත්තා. ලේ පැල්ලම් මගෙ බෙඩ් ෂීට් එකේ රටාවක් ඇඳලා. මට වටහ ගන්න අමාරුයි ඒ ඇඳිලා තියෙන්නනෙ බෝ කොලයක් ද එහෙමත් නැත්නම් හාර්ට් එකක් ද කියලා.

කේ. ඩී. දර්ශන

Recommended For You

About the Author: Editor(A)