“ජඩ-මාධ්‍ය අධිරාජ්‍යයට” එරෙහි අරගලය ගැන කෙටි අදහස් සහ යෝජනා කීපයක්



කථිකාචාර්ය සුමිත් චාමින්ද

(1) මේ යුගයේ මාධ්‍ය ප්‍රාග්ධනය මගින් යථාර්තය නියෝජනය කරනවා නොවේ. යථාර්තය ගොඩ නගනවා. ඒ සමග අභිමුඛ නොවී පොදු ජනයාගේ නිදහස හෝ අයිතීන් ගැන සිතිය නොහැකියි. එහෙයින් වමේ ව්‍යාපාරයද මේ අරගලයට ඉක්මනින් අවතීර්ණ විය යුතුයි.

(2) ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ගේ ප්‍රකාශවලින් පෙනෙන්නේ ඇතැම් වමේ පක්ෂ (ඇතැම්විට තමන්ට ලැබෙන මාධ්‍ය අවකාශය ගැන බියට පත්වී) තවමත් වැනෙනසුළු ස්ථාවරයක පසුවන බවයි. තමන්ගේම සාමාජිකයන් අරගලය තුළ නියෝජනය වන තත්ත්වයක් තුළ ජවිපෙ මෙසේ කිරීම පුදුම සහගතය. දැන් ජවිපෙ කරමින් සිටින්නේ සිරස ගහන ගහන පාරට වඳින එකය. මේ ප්‍රතිපත්තිය ජවිපෙ වැනි පක්ෂයකට තරම් නොවේ. මාධ්‍ය ප්‍රාග්ධනය සමග පක්ෂයක් ලෙස ගැටෙන්නට නොහැකි නම් නිහඬව සිටීම වඩා යහපත්ය. අරගලයේ යෙදෙන “අලුත් පියාපත්” ඇතුළු කණ්ඩායම්වලට හානිදායක ප්‍රකාශ කිරීමෙන් ජවිපෙ තමන්ටම කරගන්නේ හානියකි. ජවිපෙ තමන්ට අවංකව සහය දෙන පිරිස්වල විශ්වාසය බිඳ නොගත යුතුය.

(3) අරගලය මාධ්‍ය ප්‍රාග්ධනයට එරෙහිව දිශානත විය යුතුය. නැතිනම් සිදුවන්නේ අදාල මාධ්‍ය ආයතනවල ඇතැම් කම්කරුවන් (සහ මාධ්‍යවේදී කම්කරුවන්) තම රැකියාව සහ වැටුප ගැන කලබලයට පත්වී විරෝධතාකරුවන්ට එරෙහිව සංවිධානය වීමයි. “සිරසේ” සහ “මව්බිමේ” මාධ්‍ය කම්කරු සහෝදරයින් සහ සහෝදරියන් කළේ මෙයයි. මාධ්‍ය ආයතනවල කම්කරුවන්ද මේ අරගලයට සම්බන්ධ කරගත යුතුය. මාධ්‍ය ආයතන සේවකයන් හට සාධාරණ වැටුප් සහ අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ඉල්ලා සිටීමේ සටන් පාඨ දැන් පෙරට ගත යුතුය. ඇතැම් මාධ්‍යවේදීන් විරෝධතාකරුවන්ට එරෙහි මඩ ප්‍රචාර පළ කළේ තම හෘදය සාක්ෂියට එරෙහිවය. ඒ ඔවුන්ගේ බඩ වියත වෙනුවෙනි. අප ඔවුන්වද ආමන්ත්‍රණය කළ යුතුය. පිටතින් මෙන්ම ඇතුලතින්ද මාධ්‍ය ප්‍රාග්ධනයට පහර දීමේ උපක්‍රම සෙවිය යුතුය.

(4) ජඩ-මාධ්‍ය භාවිතය එක් ආයතනයකට සීමා වූ ප්‍රශ්නයක් නොව පොදු ප්‍රශ්නයකි. නමුත්, විරෝධතාකරුවන් හට (සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය හැරුණු කොට) වෙනත් බලවත් මාධ්‍යයක් නොමැති බැවින් මේ මොහොතේදී උපක්‍රමික තෝරාගැනීම් කළ යුතුව ඇත. (මේ සම්බන්ධයෙන් නිර්මාල්ද ඉඟි කොට තිබිණ). පෙරමුණු රැසක එකවිට සටන් කළ නොහැකිය.

(5) මාධ්‍ය ප්‍රාග්ධනයට එරෙහි අරගලය අධිපති මාධ්‍ය විසින් අර්ථකතනය කරමින් ඇත්තේ මාධ්‍ය නිදහසට එරෙහි අරගලයක් ලෙසටය. මේ මතය පරාජය කිරීම දෘෂ්ටිවාදී අරගල බිමේදී ඉතාම වැදගත්ය.

(6) විරෝධතාකරුවන් විසින් ජවිපෙ සහ පෙසප ඇතුළු වමේ පක්ෂ, සංවිධාන, ප්‍රගතිශීලී බුද්ධිමතුන් සහ කලාකරුවන් වෙත පුළුල් කැඳවීමක් කළ යුතුව ඇත. මේ අරගලයට සුබ පතන සහ සහය දීමට සූදානම් විශාල පිරිසක් සිටින බව පෙනේ. නමුත්, ඔවුන්ව තවමත් පොදු අරගලයට ඇතුලත් කරගෙන නොමැත.

(7) මාධ්‍ය මගින් වපුරන අසංස්කෘතික, අවරසික, මුග්ධ දෘෂ්ටිවාදයන් විවේචනයට ලක් කරන ගතානුගතික බුද්ධිමය ස්ථර (මහාචාර්යවරුන්ගේ සිට විදුහල්පතිවරුන් දක්වා) මේ අරගලයට දිනා ගැනීමේ ප්‍රයත්නයක් අවශ්‍යයි. ගතානුගතික බුද්ධිමතුන් දිනා ගැනීමෙන් තොරව අරගලය සාර්ථක කර ගත නොහැක. රට පුරා සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමේ යෝජනාවද මෙහිදී වැදගත්ය.

(8) දැනටමත් කිහිපදෙනෙක්ම යෝජනා කර ඇති පරිදි විකල්ප මහජන මාධ්‍යයක් සඳහා වන යෝජනාවද සාකච්ජාවට ගත යුතුව ඇත.

(9) අරගලයේ ජනප්‍රියවාදී ස්වරූපය දිගටම පවත්වාගත යුතුය. නව ශිෂ්ටාචාරමය මනුෂ්‍යයෙකු ගොඩ නැගීමේ තේමාව ඉතාම වැදගත්ය. මෙය නව විකල්ප බුද්ධිමය සහ සංස්කෘතික නායකත්වයක් ගොඩ නැගීමේ පළමු පියවර බවට පත් කරගත හැකිය.

(10) මේ අරගලය සෙසු ප්‍රජාතාන්ත්‍රික ජනතා අරගල (ශිෂ්‍ය ව්‍යාපාරය, වතු කම්කරු වැටුප් අරගලය, විනාශකාරී සංවර්ධන ව්‍යාපෘතීන්ට එරෙහි අරගල) සමග බද්ධ කිරීමේ මං සෙවිය යුතුය. මාධ්‍ය ප්‍රාග්ධනයට බිය නොවන සමාජ ව්‍යාපාරයක් ගොඩ නැගිය හැකි නම්, ජන බලය ඉදිරියේ මාධ්‍ය ප්‍රාග්ධනය දණ නමන දිනය වැඩි ඈතක නොවේ.

Recommended For You

About the Author: Editor(A)