ඝණ ආහාර සඳහා ද වර්ණ සංකේත ක්‍රමයක්

දියවැඩියා රෝගයට ජනතාව ගොදුරුවීම පාලනය කිරිමේ අරමුණින්  පැණිබීම සඳහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය අනෙකුත් ඝණ ආහාර , අර්ධ ඝණ ආහාර සහ දියර ආහාර සඳහා ද ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.

1980 අංක 26 දරණ ආහාර පනතට අනුව නව නියෝගය අප්‍රේල් මස 01 දා සිට ක්‍රියාත්මක කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා ආහාර සෞඛ්‍ය පිළිබෙඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතාට උපදෙස් ලබා දී ඇත.

මේ පිළිබඳ සාකච්ඡාව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි. මෙම සාකච්ඡාව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් ද එක්ව සිටියහ.

ඝණ ආහාර ,  අර්ධ ඝණ ආහාර සහ දියර ආහාරවල අධික සීනි , ලුණු සහ මේදය අඩංගු වන්නේ නම් ඒ සඳහා වර්ණ සංකේතයක් ආහාර ලේබලයේ ප්‍රධාන රාමුවේ ප්‍රදර්ශණය කළ යුතු වෙයි. එමගින් පැණිබීම මිලදී ගැනීමේ දී වර්ණ සංකේත කෙරෙහි ජනතාව දැක් වූ අවධානය ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර මිල දී ගැනීමේ දී ද යොමු කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වන බව මෙහි දී සඳහන් කළේය.

මේ පිළිබදව ඝණ ආහාර , අර්ධ ඝණ ආහාර සහ දියර ආහාර නිෂ්පාදනය කරන නිෂ්පාදකයින් ද 2018 වසරේ දී දැනුවත් කර ඇත.   

Recommended For You

About the Author: Editor(A)