කොළඹ වැඩට ගිය අක්කාගෙන් ලියමනක්

වැඩ කරන පැය ගාණ වැඩිකර
ලොකු වැඩක් ගාමන්ට් එකේ
තරුණ සමුළුවකටලු මේ රෙදි
නිවාඩුත් නැති වෙයි වගේ

උදේ කෑමට පාන් පෙත්තක්
බටර් ගාලා හම්බුණේ
චූටි මල්ලී ආස වේ යැයි
හිතා ඉද්දිම හිර වුණේ…

අතේ වියදම සොච්චමක් ගෙන
පඩිය දැම්මා බැංකුවේ
අම්මගේ හති මැෂිම අරගෙන
ඉතිරි වැඩ කර ගන් හොඳේ

උසස් පෙළ උඹ පාස් වෙනකන්
පංති පලයන් එක වගේ
මල්ලිලත් ඉස්කෝලෙ යවලා
උගන්නාපන් නංගියේ

ගෙදර ගැන සිහි වෙලා තුන්යම
හිතම දිය වෙනවා අනේ
දන්න තරමින් කිසිම කන්දක්
නාය ගියෙ නැත ඒ වගේ

නිතර රෑ වැඩ , සුපර්වයිසර්
ඇඹලයා වගෙ මා වටේ
මගේ වයසෙම දුවෙක් හිටියත්
මිනිහගෙන් මට කරදරේ

කොළඹ ලස්සන අස්සෙ ගින්දර
දකිනවා මම හැම වෙලේ
ඒත් අම්මට නොකිය විස්තර
මං හොඳින් කියපන් නඟේ

ගයා හැඩ රුව අම්මා නිතරම
ඉකි ගගහ කී කවි පෙළේ
තාත්තාගේ වගේ මූණක්
තාම හොයනවා සෙයිලමේ…

-Nadeera ND-

Recommended For You

About the Author: Editor(A)