”ඔහුත් සිත්තරෙකි මළකඳන් පාට කරනා…”

නිර්ව්‍යාජ සිනහවක් තියෙන්නෙ පුංචි මල් වගේ දරුවන්ට විතරමයි. මොකද එයාලගෙ හිත් පිරුවටයක් වගේ.,කිසි කුණක් ලියවිලා නෑ. ඒත් බොහොම කළාතුරකින් වැඩුණු මිනිසෙකුගෙනුත් ඒ නිර්ව්‍යාජත්වය, සෙනෙහෙවන්ත ආදරණීය බව දකින්න පුළුවන්.

         ”කොහෙද චූටි මැණිකෙ යන්නෙ ……?? ඔය කෝච්චිවල බස්වල එහෙම යනකොට යන්නෙ බලාගෙන….”

            පාරෙදි, කොහෙහරි වත්තක නැත්නම් ගහක් උඩ තැනක් නොතැනක් නෑ මගෙ අංශු මාත්‍රයක් දැක්කොත් ඔය ප්‍රශ්නෙත් අහලා මං උත්තර දෙන්න කලින් උත්තරේකුත් දෙන්නෙ ‘ඉන්දරේ මාමා….’ මට ගෙදරට කියන නම මුළු ගමටම ඇහෙන්න කියන්න එපා කියලා එයාට කියනවට වඩා හොදයි කට ගලක උලා ගන්න එක.

            ඉන්දරේ මාමගෙ පරම්පරාවක් , නෑදෑ සංහුරයක් , ජන්මයක් ගැනනම් මං දන්නෙ නෑ. මට දැනගන්න ඕනෙත් නෑ. දන්න කාලේ ඉදලා අපේ ගෙට ගෙවල් තුන හතරක් එහායින් තියෙන මල්ශාලාවෙ එම්බාම් කරනවා. හැමදාම උදේට හවසට හන්දියෙ කඩෙන් පාන් ගෙඩි දෙක  තුනක් අරන්  කඩ කඩ එයාව අපේක්ෂාවෙන් ඉන්න බලු රැලට මල්ශාලාවට යනකම් දදා එනවා. ඕන කෙනෙක් කිව්වොත් මිදුලක් උදුළු ගාලා දෙන්න, දර කොටයක් පලලා දෙන්න කියලා ඉඩ ලැබුණ වෙලාවක ගිහින් කරලා දෙනවා.

 අපි සීමා මායිම් ළකුණු කරලා වැටවල් ගහගෙන හිටියට එයාට ඒවා අදාලම නෑ. යන්න ඕනෙ කොහෙටද යන්න පුලුවන් කෙටිම පාර වතුවලින් පැනලා එයාම හදාගන්නවා. ඉතින් ඒ පාරෙදි තොටුපළක් තමයි අපේ ගෙදර. ටිකක් ගිමන් හරින්න, කහට කෝප්පයක් බොන්න අතරමගදි කඩාගත්ත වෙරළු අහුරක්, දං මිටක්වත් නැතුව ගොඩවදින්නෙ කලාතුරකින්.

                  මං ගොඩක්ම ආස ඉන්දරේ මාමගෙ කතා අහන්න. රසකතා, ජාතකකතා, ආදිකාලෙ කතා…… අම්මේ එයා දන්න කතා ගොඩ.

                  ”ඉස්සර ඉතින් මේ වගෙ වාහන ගොඩ පාරවල්වල නෑ.චූටි මැණිකෙලට හිතන්නවත් බෑ අපි ටවුමට ගියේම පයින්. සත පහක් ලැබුණොත් ඉස්කෝලෙට හොරෙන් කට්ටි පැනලා චිත්‍රපටියකුත් බලලා කෝච්චියෙනුත් රවුමක් ගිහින් තමයි එන්නෙ. ළමයි නැතිවුණාම ඉස්කෝලෙ මහත්තයා ගෙවල්වලට එනව හොයන්න.”

          හවසට ටිකක් බීලා ගමටම ඇහෙන්න වල්සීපද දෙක තුනකුත් කියනවා තමයි ඉතින්.එතකොට නම් ඒ මනුස්සයා කරලා දුන්න ඔක්කොම හොද අමතක කරලා පිරිමි පලු යන්න බනිද්දි ගෑනු සද්දෙට දොරවල් වහලා ”ඔන්න ඉන්දරේ එයි ගෝනියක දාලා අරන් යන්න” කියලා පොඩි උන්ව බය කරලා බත් ටික කවාගන්නවා. ”එම්බාම්කාරයා උදේ ම මුලිච්චි වෙයි ද දන්නෙත් නෑ” කියලා එළියට බහින්නෙත් ඒ උදවියම තමයි.

            දවසක් රෑ හොදටම බීගෙන ඇවිත් මිදුලෙ ගල් බංකුවට වෙලා අඩනවා.අම්මා ඇහුවට මුලින් කිවුවෙ නෑ…

                         ”අර පොඩී එකීගෙ මිනිය හවස ගෙනාවා නෝන මහත්තයා… මේ අත් දෙකෙන් කොච්චර මිනී කැපුවත් පොඩි එකෙක්ගෙ ඇගට අත තියන්න බෑ වෙව්ලනවා….”

     ඉන්දරේ මාමව පෙන්නලා අර මනුස්සයා කවුද කියලා ඇහුවොත්..,,

            කතාකාරයෙක්, කවිකාරයෙක්, කරුණාව මෛත්‍රිය දයාව බෙදාහරින්නෙක්, නිර්මාංශිකයෙක්, ගෝනිබිල්ලෙක්……

            රැකියාව-මෘතදේහ සැරසීම.

              ”මලේ සුවද ගැන කිසිත්     නොදැනා

                නොදුටු පරලොවට පෙම්       බදිනා

                මැරුණු කුණුකය පාට          කරනා

                නොමළ මිනිසෙකි ඔහුත් වෙසෙනා”

– නෙත්මිණි විජේසූරිය –

Recommended For You

About the Author: Editor(A)